Sunday, September 8, 2024
HomeLocal Newsඅවුරුද්දෙන් පසු වර්ජන රැල්ලක්!

අවුරුද්දෙන් පසු වර්ජන රැල්ලක්!

සිංහල-දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති බොහෝමයක් ඉල්ලීම් දිනාගැනීමේ වෘත්තීය සටන් ආරම්භ කිරීමට නියමිත බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ග්‍රාම නිලධාරි ආදී වශයෙන් රාජ්‍ය අංශයේ බොහෝමයක් ක්ෂේත්‍රවල වෘත්තීය සටන් ආරම්භ කරන බව ද ඔවුහු සඳහන් කළහ.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීම, අධ්‍යාපනයේ බර මවුපියන්ගෙන් ඉවත් කිරීම, පාසල් උපකරණ මිල පහත දැමීම, ගුරු – විදුහල්පති උසස්වීම් ලබා දීම, නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හකුළා ගැනීම යන ඉල්ලීම් මුල්කරගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදුකරන බවයි.

මෙම ඉල්ලීම් මුල්කරගෙන පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි මීට පෙර උද්ඝෝෂණ ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළ බව පැවසූ ප්‍රධාන ලේකම්වරයා අවුරුද්දෙන් පසුව කෙටි කාලයකදී අධ්‍යාපන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව ඒ සඳහා විසඳුම් නොදේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති අරගලයකට යොමුවන බව අවධාරණය කළේ ය.

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල දීමනා ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු වූ පරිදි චක්‍රලේඛයක් නිකුත් නොකළහොත් අවුරුද්දෙන් පසුව වෘත්තීය සටන්වලට යොමුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසීය. සෞඛ්‍ය ඇමතිවරයා චක්‍රලේඛයක් මගින් ගැටලු විසඳන බවට අප්‍රේල් මුල් සතියේ පැවැත්වූ සාකච්ඡාවකදී වෘත්තීය සමිතිවලට පොරොන්දුවක් ලබාදුන් බව ද හෙතෙම සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න සඳහන් කළේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව වසර දහයකින් සංශෝධනය නොකිරීම, සේවා ගැටලු නොවිසඳීම, ප්‍රමාණවත් දීමනා ලබා නොදීම යන ගැටලුවලට අලුත් අවුරුද්ද අවසන් වීමට ඇති කෙටි කාලය තුළ රජය විසඳුමක් ලබා නොදේනම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි. ඒ අනුව පූර්ණ වැඩ වර්ජන හා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල මෙන්ම පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වූ දේවාලවල පොල් ගසා දේව කන්නලව්වක් සිදුකිරීමටද සැලසුම් කර ඇතැයි ජාතික සංවිධායකවරයා කීවේය.

එසේ ම, මේ මස 21 වන දා ජාතික උත්සවයක් පවත්වා ආරම්භ කිරීමට නියමිත රජයේ සහල් බෙදාදීමේ වැඩසටහන ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැදිහත් වීමකින් තොරව සිදුකරන බවට ජනාධිපතිවරයා තහවුරු නොකළහොත් ග්‍රාම නිලධාරීන් එම වැඩසටහනින් ඉවත් වීමට තීරණය කර ඇතැයි ද හෙතෙම පැවසීය. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ හිඟ දීමනා ලබාදෙන බවට වර්තමාන ලංගම සභාපතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දී තිබෙන නමුත් මේ දක්වා එය ඉටුකර නොමැති බවයි.

සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව කෙටි කලක් තුළ එම දීමනා ලබානොදුනහොත් ලංගම සේවකයන්ට ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදුවන බවට ලංගම සභාපතිවරයාට අවුරුදු සතියේදී ලිඛිතව දැනුම් දුන් බව ද ලියනගේ මහතා පැවසීය.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ, ගුරුවරුන්ගේ වෘත්තීය සමාලෝචනය හා මොඩියුලර් සම්පූර්ණ කිරීම අප්‍රේල් 30ට කලින් අවසන් නොකළහොත් මැයි මාසයේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බව ය.

www.mawbima.lk

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments