Thursday, September 19, 2024
HomeLocal Newsහොරකම් කල ධනය ඔප්පූ කලොත් ලෝකයේ ඕනෑම අධිකරණයකට එනවා!

හොරකම් කල ධනය ඔප්පූ කලොත් ලෝකයේ ඕනෑම අධිකරණයකට එනවා!

රාජපක්ෂවරු අයුතු ලෙස උපයාගත් වත්කමක් ලොව ඕනෑම තැනක තිබෙන බවට ඔප්පූ කරන්නේ නම් ලෝකයේ ඕනෑම අධිකරණයක් හමුවේ පෙනී සිටීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ෆයිල් මිටි හංගාගෙන නොසිට ඒවා ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන ඒ මහතා හැකි නම් අයුතු ලෙස උපයා ගත්තා යැයි පවසන වත්කම් හෙළි කරන්නැයි අභියෝග කරයි.

2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් රත්නපුර නගරයේ දී පැවැති ජනහමුවට එක්වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

මේ දිස්ත්‍රික්කය තුළ මැතිවරණය ඉතාම සාර්ථකව ඉදිරියට ගෙනියනවා. 2005 වසරේ පැවති ජනාධිපතිවරණයත් මේ විදිහමයි. එදා මහින්ද රාජපක්ෂ මහතා දිනවන්න බර කරට අරගෙන රත්නපුර දිස්ත්‍රික්කය තුළ නායකත්වය ලබාදුන්නේ ප්‍රේමලාල් ජයසේකර ඇමතිතුමා ඇතුළු කණ්ඩායමයි. ඒ වගේම අදත් ජනාධිපතිවරණයේ නාමල් රාජපක්ෂ දිනවන්න ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම දරන උත්සාහය අගය කරනවා. එදත් ලොකු ලොකු අය හිටියා. නමුත් අපි දිනුවා. අපි වැඩ කරපු කණ්ඩායමක්. අපිට වැඩ කරන්න අවශ්‍යයි. කතා කරලා වැඩක් නෑ. මේ රත්නපුර දිස්ත්‍රික්කයට වැඩක් කළා නම් ඒ කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එදා රාජ්‍ය සේවය පුළුල් කරලා අලුතින් රාජ්‍ය සේවයට තරුණ තරුණියන් බඳවා ගත්තා. රැකියා සඳහා තරුණ තරුණියන් ලක්ෂයක් බඳවා ගන්න ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් කටයුතු කළා.

ඒ විතරක් නෙවෙයි. අපි ගම හැදුවා. ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි බව අපි දුටුවා. දළු වලට සාධාරණ මිලක් දුන්නා. ඒ වගේම ගම් මිරිස් වලට කුරුඳුවලට සාධාරණ මිලක් ලබාදෙන්න රාජපක්ෂ ආණ්ඩුව හැමදාම කටයුතු කර තිබෙනවා. යහපාලන ආණ්ඩුව බලයට පැමිණ ගම්මිරිස්වල මිල, කුරුඳුවල මිල, තේවල මිල, ප්‍රති අපනයනය කරන ව්‍යාපාරිකයන්ට සහාය ලබා දෙන්නට අවශ්‍ය නිසා මහ පොළොවට සමතලා කර දැම්මා. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලුවේ මෙම නිෂ්පාදන වල මිල සාධාරණ තැනකට ගෙනත් දෙන්න කියලයි. ඒක අපි කළා. අපි මේ මහ පොළොවේ පය ගහලා දේශපාලනය කරන අය. අපිට අවශ්‍ය මේ රටේ මිනිස්සු පොහොසත් කිරීම මිස ව්‍යාපාරික පැලැන්තිය කෝටිපතියන් කිරීම නොවේ. ව්‍යාපාරිකයන් සල්ලි හම්බ කලාට අපි ඊර්ෂ්‍යා කරන්නේ නෑ.

නමුත් මිනිස්සුන්ට හොඳ ආදායමක් ලැබෙන්න ඕන. මිනිසුන්ගේ අතට සල්ලි ටික යන්න ඕන. ගමේ ව්‍යාපාර දියුණු වෙන්න ඕන. ඒ ගමේ ව්‍යාපාර දියුණු වුණොත් විතරයි ගමේ ආර්ථිකය දියුණු වෙන්නේ. ගමේ ආර්ථිකය දියුණු වුණොත් පමණයි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. හොඳ අධ්‍යාපනයක් ලබාගත්තොත් පමණයි නූතන ලෝකයේ රැකියාවලට සරිලන තරුණයෙක් තරුණියක් බවට ඒ දරුවා පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ. අපිට එදා රත්නපුර දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න සැලසුමක් තිබුණා. නමුත් පසුගිය කාලයේ නායක වූ පැමිණ රත්නපුරේ මැණික්වුන විවෘත කළා. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක්. අඩුම ගානේ ආරාධනා පත්‍රයක් එවන්න තිබුණා. නමුත් එහෙම එව්වේ නෑ කියා අපි අමනාප වෙන්නේ නෑ. අපි රුවන් පුරට අධිවේගී මාර්ග ගේන්න සැලසුම් කළා.

මත්තල ගුවන්තොටුපලෙන් ලැබෙන ප්‍රතිලාභය මේ ජනතාවටත් ලබාදෙන්න උත්සාහ කළා. අධිවේගී මාර්ග සංවර්ධනය කිරීමෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සලසන්න සැලසුම් කළා. දේශීය බෝග සඳහා සාධාරණ මිලක් ලබාදෙන ජාතික වැඩපිළිවෙලක් එක්ක අප කටයුතු කළා. මහ පොළොව සමග පොර බදින මේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් පතල් කර්මාන්තයෙන් නිරතව සිටිනවා. බොහෝ අය කතා කරනවා. නමුත් ප්‍රායෝගික ගැටලු සඳහා විසදුම් ලබාදෙන්න කිසිවකු කතා කරන්නේ නෑ. කම්කරුවාගේ අයිතිය සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ. පැහැදිලිව අපි හදන ආණ්ඩුවක් තුළ පතල් කර්මාන්තයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න වගේම පතල් කර්මාන්තයේ නිරත කර්මකරුවාගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් වගකීමෙන් යුතුව කියනවා. මේ ජනතාව විඳින දුක අපි දන්නවා.

මේ අය ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය අපි දන්නවා. අපිට අවශ්‍ය ශ්‍රී ලංකාව මැණික් වල කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නයි. තායිලන්තයට පුළුවන් නම් ඩුබායි රාජ්‍යයට පුලුවන්නම් අපේ නූතන ප්‍රතිපත්තිය එක්ක ලෝකයේ මැණික්වල කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් කරන්න පුළුවන්. ස්වාභාවධර්මයේ ආශිර්වාදය අපට තිබෙනවා නම් ඔබේ අත්වල හයිය තිබෙනවා නම් ප්‍රතිපත්තිමය තීන්දු අරගෙන මේ රට ආසියාව වගේම ලෝකයේ මැණික්වල කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න අපට හැකියාව තිබෙනවා. තවත් පැත්තකින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වෙන්න පුළුවන්. අනෙක් ක්ෂේත්‍රවල වෙන්න පුළුවන් දරුවන්ගේ රැකියා සඳහා විසඳුමක් ලබාදෙන්න. නූතන රැකියා වෙළඳපොළ තුළ රැකියා කරන්න හැකි දරුවෙක් අපි නිර්මාණය කළ යුතු වෙනවා. ඒ වගේම ලංකාව තුළ දේශීය සහ විදේශීය ආයෝජකයින් ශක්තිමත් කරනවා.

ආයෝජකයින් එන්නේ මොන රටින් ද ඒ ආයෝජකයා එවන්නේ කවුද කියන එක නෙවෙයි අපිට වැදගත් වන්නේ. ඒ ආයුෂ නින්ද අපේ රටට ලැබෙන්නේ කුමක්ද කියන එකයි අපිට වැදගත් වන්නේ. අපේ රටේ දරුවන්ට රැකියා කීයක් උත්පාදනය වෙනව ද කියන එක වැදගත්. ඒ වගේම බලශක්තියෙන් අපි සුරක්ෂිත වෙන්න ඕන. මේ රටේ ජනතාව ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වයට නිසි ගෞරවයක් ලබාදෙන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා. මේ රටේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළ පෝලිම් යුගය අවසන් කරන්න හැකි වෙනවා. දේශපාලන වේදිකාවේ දී ඇතැමුන් ලබාදෙන පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ද නැද්ද කියන එක පිළිබඳව මේ ජනතාවට තක්සේරුවක් තිබෙනවා. මේ ජනතාව පොරොන්දු අහලා තියෙනවා. 2015 බලයට ආවා රුපියල් දහ දාහක් දෙනවා කියලා.

රුපියල් දහ දහ දීලා අවුරුදු දෙකක් ගියාම පස්සේ කියනවා මහා භාණ්ඩාගාරයට කෙලවුනා කියලා. ඊට පස්සේ අයිඑස්පී ණය ගන්න ඕන කියලා රුපියල් බිලියන 12.5ක් ගත්තා. ඒක අරගෙන ගෙවා ගන්න බැරි වුණාම රාජපක්ෂවරු රට ණය කළා කියා අපට චෝදනා කරනවා. ණය අරගෙන වැඩේ කරගන්න බැරි වුණාම අපට චෝදනා කරලා වැඩක් නැහැ. අපිට හොරා කියලා හං වඩු ගැහුවා. නමුත් මම අභියෝග කරනවා අපි අයුතු ලෙස උපයාගත් යම්කිසි වත්කමක් ලෝකයේ කොතැනක හෝ තිබෙනවා නම් ලෝකයේ ඕනෑම අධිකරණයක් ඉදිරියේ මුහුණ දීමට අපි සූදානම් කියා ප්‍රකාශ කරනවා. මම ඒක අභියෝග කරනවා. ෆයිල් හංගගෙන ෆයිල් මිටි පෙන්න පෙන්න ඉන්නේ නැතිව ඉදිරිපත් කරන්න කියා මා ඉල්ලීමක් කරනවා.

දැන් බාගයක් ඉන්නේ රනිල් මහත්තයා ළඟ. තවත් බාගයක් අනුර මහත්තයා ළග. කවුරු හරි කමක් ෆයිල් ටික ඇදලා ඕනෑම පරීක්ෂණයක් කරන්න. පසුගිය කාලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. රාජපක්ෂවරු අයුතු ලෙස උපයාගත් කිසිදු වත්කමක් ලෝකයේ කිසිදු තැනක නැතැයි ප්‍රකාශ කළා. එතුමා පරීක්ෂණ කළා. නමුත් යළිත් වරක් ඇතැම් දේශපාලඥයන් හොරු අල්ලන්න බලයට එනවා කියනවා. ඒ නිසා ඔබ මේ කතා මීට පෙර අසා තිබෙනවා. මේවා අලුත් කතා නොවෙයි. අපිට අවශ්‍ය මේ රට අනාගතවාදීව ගොඩනගන්නයි. ඔබට අවශ්‍ය ඔබේ දරුවා වෙනුවෙන් දියුණු රටක් හදන්නයි. දේශපාලන වේදිකාවේ හොඳම කතාකාරයා, හොඳම විහිළු සපයන්නා, හොඳම කයිවාරුකාරයා සොයන මැතිවරණයක් නොවෙයි මෙය.

ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන්න, ඔබ කරන ව්‍යාපාරය දියුණු කරගන්න, අසීමිත බදු බරින් පීඩා විඳින ජනතාවට සාධාරණ බද්දගෙවා සතුටින් ජීවත්වන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරන්න බැරි වැඩදීලා නෑ. අපි කියන්නේ කරන්න පුළුවන් ඒවා. අපට මේ රට හදන්න පුළුවන්. අපට මේ රට බෙදන්න බැහැ. එනිසා රට නොබෙදා රට ගොඩනගන වගකීම භාරගන්නවා. යන විට අපේ අයට තර්ජනය කරන්න උත්සාහ කරයි. ඇතැම් දේශපාලන පක්ෂවල අය තර්ජනය කරන්න උත්සාහ ගන්නවා. ඒ අයට වෙන ප්‍රතිපත්තියක් නැහැ. වියරු වැටෙනවා. පරාජය දකින විට තරහ යනවා. ඒ අයට පරාජය වගේම ජයග්‍රහණය දරා ගන්නත් බැහැ. නමුත් මේ දෙකම දරා ගන්න අපට පුළුවන්. වැඩ කරන්න වුවමනාව තිබෙන නිසා අපි ජනතාව කෙරෙහි විශ්වාසය තබනවා.

අපි බය කරලා ජනතාවගෙන් ඡන්දය ගන්න යන්නේ නෑ. අපි වැඩ කරලා, රටේ ජනතාව අතර විශ්වාසයක් ගොඩනගාගෙන දේශපාලනය කරනවා. අපිට මේ ජනතාව විශ්වාසයි. 21 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවන්න එක්වන්නයි ආරාධනා කරනවා.

– SLPP Media

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments