Monday, September 16, 2024
HomeLocal Newsකවුරු දින්නත් අන්තිමට දිනන්නේ මම!

කවුරු දින්නත් අන්තිමට දිනන්නේ මම!

ජනපති රනිල් එක්ක එකතු වෙලා ඉදිරියට යන්න දාපු කොන්දේසි ප්‍රතික්ෂේප කළේ රාජපක්ෂලද? රනිල්ද?

කොන්දේසි තිබුණේ නැහැ. මෙතැනදී ප්‍රධාන වශයෙන් බලපෑවේ ප්‍රතිපත්තිමය කාරණාවන්. අපේ සමහර ප්‍රතිපත්තිවලට එතුමා එකඟ නැහැ. ඒ වගේම  එතුමාගේ ප්‍රතිපත්තිවලට අපි එකඟ වුණෙත් නැහැ. ඒවට එකඟ වෙන්න බෑ. අපි උපරිම උත්සාහ කළා යම්කිසි එකඟතාවකට එන්න. එතුමත් එක්ක තවදුරටත් ගමනක් යන්න. නමුත් ඒක අසාර්ථක වුණා.

මේ රටේ දේශීය චින්තනයට හා වාමාංශික බලවේගයන්ට නායකත්වයක් අවශ්‍යයි. පක්ෂයක් අවශ්‍යයි. එහෙම නොගැළපෙන ප්‍රතිපත්ති මත දීගයක් යන්න උත්සාහ කිරීම තුළ බලවේග දෙකම විනාශ වෙනවා. යූ.එන්.පී. එකටයි, ශ්‍රී ලංකා එකටයි වෙච්ච දේ නොවෙන්න තමයි අපි තරග කරන්න හිතුවේ.

ශ්‍රී ලංකා එකටයි යූ.එන්.පී. එකටයි වෙච්ච දේ පොහොට්ටුවටත් නොවුණා කියන්නේ කොහොමද? අද පොහොට්ටුව කියලා ඉතිරි රාජපක්ෂ පවුල නේද? ඒ හින්දම නේද මුල ඉඳලා ධම්මිකව පෙන්නලා අන්තිමට ඔබ ඉදිරිපත් වුණේ. පවුලේ බූදලය නිසා නේද?

අපි මුල ඉඳලම අපේ පවුලෙන් පිට කෙනෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඕන කියන ස්ථාවරයේ හිටියා. පවුලේ අයට කොච්චර සුදුසුකම් තිබුණත් නැතත් දාන්නෙ නැහැ කියන තැන අපි හිටියා. ඇත්තටම ඔබ ඔය කියන චෝදනාවෙන් සහ ඔය කියන මතවාදයෙන් මිදෙන්නටයි අපි එහෙම හිතුවේ. ඒත් ඒක කරන්න බැරි වුණා ධම්මික පෙරේරා අන්තිම මොහොතේ ඉවත් වුණ හින්දා. ධම්මික බැහැ කිව්වහම අපි තව අය උත්සාහ කළා. ඒ අය වගකීම භාර ගන්න කැමැති වුණේ නැහැ. අවසානයේ ඒක මට භාර ගන්න සිද්ධ වුණා.

රාජපක්ෂ ක¼ඳවුර වෙනුවෙන් මම ඒ තීන්දුව ගත්ත. ඒක වැටෙන්න දෙන්නෙ නැතිව ආරක්ෂා කරන්න ඕන. අපි නියෝජනය කරන දේශපාලන කඳවුර රැකෙන්න ඕන.

ඔබ ඉදිරිපත් වුණා කියලා ඔබගේ දේශපාලන කඳවුර රැකෙයි. රටට මොනාද ලැබෙන්නේ?

පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ආවෙ නැත්නම් අනිවාර්යයෙන් රට බෙදෙනවා. 13 සහ පොලිස් බලතල ලබා දෙනවා. රටට නොගැළපෙන නීති රාමු රටේ ස්ථාපිත වෙනවා. මේ ප්‍රධාන අපේක්ෂකයෝ තුන්දෙනොම ඒ සම්බන්ධව ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කරල ඉවරයි. දැනටමත් ඒ අයගේ ප්‍රතිපත්ති රටට නොගැළපෙන බව පෙනිලා තියෙන්නෙ.

රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යන්න තීරණය කළේ ඔය ප්‍රතිපත්ති දැනගෙන නෙවෙයිද?

ඒ නිසා තමයි අපි දිගින් දිගටම සාකච්ඡා කළේ. එකඟවෙන්න බැරි නිසා අයින් වුණේ. ඔහු දකින්නෙ බදු සහ විකිණීම. එතැනින් එහාට දෙයක් ඔහු දකින්නේ නැහැ. එකම විකල්පය අයි.එම්.එෆ්. නෙවෙයි.

දැන් එහෙම කිව්වට පසුගිය වසර දෙක තුළ ගෙනා ඉතා අහිතකර අණපනත් සහ විකිණීම්වලට ඔබ ඇතුළු පිරිස අත උස්සලා අනුමැතිය දුන්නනේ. ඒ දීලා ඔබත් ඔබගේ පියත් ජනතාව ඉස්සරහ ඇවිත් විරුද්ධයි කියල කියනවා. මොකද්ද ඒ ප්‍රතිපත්ති?

ඔබ හරි. ඉතාම නරක ප්‍රතිපත්තිවලට අත ඉස්සුවා. ඒ වෙලාවේ අපිට වගකීමක් භාර ගන්න සිද්ධ වුණා. මොකද අපි තමයි රනිල් වික්‍රමසිංහව එතැනට ගෙනැවිත් ආණ්ඩුවක් පිහිටුවන්න පොරොන්දුවක් දුන්නේ. පොරොන්දුව තමයි ඊළඟ මැතිවරණය තෙක් අපි සහයෝගය දෙනවා කියන එක. එතැනදී අපි දැක්කා ඉතාම අවස්ථාවාදී විදිහට ආර්ථිකයට අදාළ නැති පනත් ගෙනාවා. සමහර පනත් අපි වෙනස් කරගත්තා. පෙට්ට්‍රෝලියම් සම්බන්ධ පනතේ සමහර කාරණා වෙනස් කර ගත්තා. අපිම බලය දීලා වැඩ කරද්දී කකුලෙන් අදින්න බැහැනේ. අනෙක හැම පනතක්ම තුනෙන් දෙකේ බලයක් ඕන ඒවා නෙවෙයි. ඒවා සුළුතර බලයකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ඒවා.

රනිල් වික්‍රමසිංහ කියන්නෙ තනි පුද්ගලයෙක්නේ. ඒ පනත් අනුමත කළ සුළුතරයත්, පොහොට්ටු කට්ටියමනේ?

සියයට සියයක් පිළිගන්නවා. අපි කකුලෙන් ඇද්දෙ නෑ. ඇද්ද නම් ඔය දේවල් කරන්න හම්බවෙන්නෙ නෑ. අපි තමයි එහෙම සම්පූර්ණ බලය දුන්නෙ. ඒවයේ හොඳ වගේම නරක වගකීමත් අපි භාරගත යුතුයි.

පොහොට්ටුවෙන් වත්මන් ජනපති ළඟට ගිය අයට රාජපක්ෂලා ‍ෙදාස් කියනවා. ඔබගේ තාත්තම නේද “සැලුන් ‍ෙදාරක්” හදාගෙන ඔය “කැත” ආදර්ශය සැපයූවේ?

තාත්තගේ දේශපාලන කාලේ සැලුන් ‍ෙදාර හරි, හැබැයි මගේ කාලේ ඒක වෙනස් වෙන්න ඕන කියලා මම හිතනවා. මම ඒක වෙනස් කරනවා.

ඔබ තාත්තගෙ දේශපාලනය කියනවනෙ. ඇයි බාප්පගෙ දේශපාලනය කතා නොකරන්නෙ?

පළමු එක එයාට වැඩ කරන්න කාලයක් ලැබුණෙ නැහැ. කොවිඩ් වසංගතයත් ආවා. ඒ වෙලාවේ හැමෝම කියන්න ගත්තා මෙයා තමයි පොර. මෙයා තමයි හරියට ඒ වැඩේ කළේ. කොවිඩ් වෙලේ හිටපු හරිම නායකයා කියලනේ එදා මිනිස්සු කිව්වේ.

බි්‍රගේඩියර්ලා ‍ෙදාළොස් දෙනෙක් දාගෙන රට පාලනය කරන්න ගියා. දිසාපතිලා ඕන නෑ කිව්වා. හමුදාව දාලා ඉස්පිරිතාල දුවන්න හැදුවා. වෛද්‍යවරු සම්බන්ධ කරගන්නෙත් නැතිව සමහර තැන්වල හමුදාවෙන්ම කරන්න හැදුවා.

හැබැයි එකක් කියන්න ඕන. ඒ වෙලාවෙ රට ඉල්ලපු දේ තමයි ඒ දුන්නෙ. 

බදු අඩු කළා. ඒක ආර්ථිකයට ලැබුණේ නැහැ. පොහොර වැඩේ සද්භාවයෙන් කරන්න ගිය වැඩක්. යම් යම් දේවල් නිසා ප්‍රශ්න ඇති වුණා. අරගලයක් ආවා. හැබැයි එයා අරගලේ අය ගහලා එළෙව්වේ නැහැ. බංග්ලාදේශයේ ඒක වුණා. කොහොම වුණත් දෙන්නටම ජනාධිපති ‘වීසා’ නැති වුණා.

රනිල් වික්‍රමසිංහව ඒ තැනට තෝරා ගත්තේ ඇයි?

අපිට ඕන වුණා අරගලය ඇතුළෙන්ම නායකයෙක් තෝරා ගන්න. ඉතින් අපි ඒක කළා.

ඒ කියන්නෙ අරගලය රනිල්ගෙ වැඩක්?

ඔව්! එයයි ජවිපෙයි කරපු වැඩක්.

බැසිල් රාජපක්ෂව ලිස්ට් එකටත් පිටින් අරගෙන මුදල් ඇමැති කිරීම කැතැයිනේ. විමල් වීරවංශ බනින්නෙම බැසිල්ටමනේ. අද බැසිල් තමයි ඔබව දිනවන්න උපරිම කැපවෙලා තියෙන්නෙ.

බැසිල් රාජපක්ෂට කවදාවත් කිසිම වුවමනාවක් තිබුණේ නැහැ පාර්ලිමේන්තුවට එන්න. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙනැවිත් මුදල් ඇමැතිකම දෙන්නම පොලඹවපු අය තමයි අද එහා පැත්තට ගියේ. ජනපති ගාවත් විමල් ගාවත් ඒ අය ඉන්නවා. අද අපි ඒක කල්පනා කරනවා ඒකත් කුමන්ත්‍රණයේම කොටසක්ද කියලා. මොකද එතුමාට කවදාවත් දේශපාලනයට එන්න වුවමනාවක් නැහැ.

අදත් එතුමා මගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා. මොකද එතුමාගේ සංවිධාන ශක්තියට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් කිසිම පක්ෂයක නැහැ. එයා තමයි දැනට ලංකාවේ ඉන්න එක්ස්පර්ට්. මට තියෙන ප්‍රශ්නෙ ඊළඟට එතැනට හදන්නෙ කවුද කියලයි.

රාජපක්ෂලා දිනවන්න බඩ ගැන නොහිතා රට ගැන හිතන්න කියපු අය අද ඔබ තරග කරද්දී රට ගැන හිතලා රනිල් ළඟට යනවනෙ. එකම ස්ලෝගන් එකට එහෙම වුණේ ඇයි? එදා රනිල්ගෙන් රට බේර ගන්නනේ රාජපක්ෂලව ගෙනාවේ?

ඒක තමයි අපේ දේශපාලනයේ හැටි. දැන් ඒක පුරුදුවෙලා. අවස්ථාවාදීන්.

තාත්තා රජ කළා, පුතාව රජ කරන්න ඕනකමක් නැහැ කියලා අද ඔබ ළඟම හිටපු අය කියනවා?

ඔව්! ඒක හරි සමහරු එහෙම කියනවා. ඇත්ත එහෙම කරන්න ඕන නැහැ. ඒක මේ අයගෙ මතය. මම මගේ තාත්තගේ අඩි පාරේ යනවා. ඒ දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙනියනවා. ඒක මගේ වැඩක්.

මහින්ද රාජපක්ෂත් එක්ක රාජපක්ෂ දේශපාලනය ඉවරයි කියලා ඇතැම් අය කියනවා?

ඒ බණ්ඩාරනායක චින්තනය චන්ද්‍රිකාගෙන් අවසන් වුණු නිසා එහෙම කියන්නෙ. මම මහින්ද ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා. ජනතාව තීන්දු කරයි ඒවා වැදගත්ද? නැද්ද? කියලා. අනෙක් අය කියන ඒවා වැදගත් නැහැ.

රාජපක්ෂලා හොලවන්න බැරි දැවැන්තයෝ වගේ හිටියේ. අරගලයෙන් බිමටම සමතලා කළේ කොහොමද?

අරගලයෙන් පරාද කළේ අපිව නෙවෙයි. මේ රටේ මතවාද? මුලින්ම කළේ සංඝයාට පහර දෙන එක. ඊළඟට රණවිරුවන්ට. ඒ මතවාදයන් සමතලා කරගෙනයි අරගලය ආවේ.

ගෝඨාභයගේ දුර්වල පාලනය නෙවෙයිද හේතුව?

පිළිගන්නවා. ඔහු උපක්‍රමශීලීව ක්‍රියා කළේ නෑ. එහෙම කළහම ඔහු වටා කට්ටිය එකතු වුණේ නැහැ. නායකයා වෙන ගමනක් යන කොට කට්ටිය අෑත් වෙනවා. ඔහු හුදෙකලා වෙනවා. එතකොට ගහන්න ලේසියි.

ඔබ ඇතුළු පවුලේ අනෙක් අයත් ඔහුව හුදෙකලා කළානේ. ඔහුට ඇනගන්නම ඉඩ හැරියානේ.?

උපක්‍රමශීලීව ඒක හරිනේ. එයා වටා හිටි අය පටන් ගත්තෙම පවුල වැඩක් නැහැ, පවුල ගාවගන්න එපා කියලනේ. ඉතින් අපි අෑත් වුණා. මේක තනියම කරන්න ඕන කියලා හිතනවා නම් අපි අෑත් නොවී කොහොමද? අපි ඒකට ඉඩ දුන්නා අයින්වෙලා.

ඔබ ඡන්ද කීයක් ගනී කියලද විශ්වාසය?

ලක්ෂ තිහක්. මම හිතනවා ඒක ගන්න පුළුවන් කියලා. තිහක් ගත්තොත් මම දිනනවා. ඒක ස්ථිරයි. දෙවැනි මනාපය මට ලැබෙනවාමයි.

ඇත්ත චිත්‍රය නම් ඔබට දිනන්න බැහැනේ. අපි ඒක තේරුම් ගන්න එපැයි?

කවුරු දින්නත් අන්තිමට මමයි දිනන්නෙ. අනුර දින්නොත් ජාතික ජන බලවේගයෙයි, ජවිපෙයි කට්ටිය කචල් වෙනවා. සජිත් දින්නත් සජිත් මත ඒක පවතී. ඒත් කචල් වෙනවා. රනිල් දින්නොත් මහමැතිවරණය කචල් වෙනවා. ඔය රනිල් ගාව ඉන්න අයට එන්න බෑ. ඉතින් අන්තිමට දිනන්නෙ මම.

රාපක්ෂලා හොරු කියන කතාව තවමත් තියෙනවා නේද?

හොරු අල්ලන්නමනේ යහපාලනය ආවේ. අන්තිමට සිරිසේන හිටපු ජනපතිම කිව්වනෙ ඒ අයව මම හිරේ දැම්මා මුකුත් ඔප්පු වුණේ නැහැ. මම මොනා කරන්නද කියලා. ඕක අපිව පරාද කරන්න බැරි අය ගෙනාපු බොරු පචයක්. විශේෂයෙන් අනුර කුමාරලා ගෙනාපු බොරුවක්.

ඔබ සජිත් ප්‍රේමදාස දිනවන්න නේද ඡන්දෙට ආවේ?

ඇයි අපි කාවවත් දිනවන්නේ. අපි ආවේ අපි දිනන්න. මේ පාර අපි දිනනවා. මහින්ද ප්‍රතිපත්ති තවම ජනතාව අත්හැරලා නැහැ. තවමත් ලක්ෂ විසිපහක් විතර ලැබෙන ඡන්ද තියෙන්නෙ. ඒ අතරින් විශාල ප්‍රමාණයක් පොහොට්ටු ඡන්ද කියලා අපි දන්නවා. ඒ අය අවිනිශ්චිතව හිටියේ පසුගිය කාලය ගැන. අපි රනිල්ට එකතු වුණා නම් අනුරට වාසියි. ඒත් දැන් එහෙම නැහැ. තරගය විවෘතයි.

ටිරන් කුමාර බංගගමආරච්චි

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments