Sunday, September 8, 2024
HomeLocal Newsක්‍රිකට් ක්‍රීඩක කළමනාකරුවන්ගේ තටු කපයි!

ක්‍රිකට් ක්‍රීඩක කළමනාකරුවන්ගේ තටු කපයි!

ක්‍රිකට් විනය කැඩුවොත් දඬුවම් දැඩිවෙයි
මාර්ගෝපදේශ කඩ කළොත් ඇ.ඩො. 10,000 දක්වා දඩ: කණ්ඩායමෙනුත් ඉවතට
හිතාමතාම ආහාර නොගෙන ඉන්න බැහැ
පුහුණු කාලයේදී දුරකථන භාවිතය තහනම්
දින 20 ඉක්මවන සංචාරවලදී බිරිඳ, දරුවන් රැගෙන යනවානම් ක්‍රීඩකයාම වියදම් දැරිය යුතුයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලයට නව මාර්ගෝපදේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට සහ ක්‍රීඩක විනය, වෘත්තීය භාවය රැකගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම නව මාර්ගෝපදේශ මගින් ක්‍රීඩක ඇඳුම් පැලඳුම්, ගමන් බිමන්, සමාජ මාධ්‍ය භාවිතය වැනි අංශ රැසක් පිළිබඳ අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි.

විනය සහ ඇඳුම් පැලඳුම්
ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට විවිධ අවස්ථා සඳහා නිශ්චිත ඇඳුම් පැලඳුම් භාවිත කිරීම අනිවාර්ය කර ඇත.

මේ අනුව කණ්ඩායම් ඡායාරූපයක් ගැනීමේ දී සපයා ඇති කමිස, කලිසම් සහ බ්ලේසරය පැලඳීම අනිවාර්ය වන අතර, තරගය කාසියේ වාසිය, ජාතික ගීය, සම්මාන පිරිනැමීම වැනි අවස්ථා වෙනුවෙන් ක්‍රීඩා ඇඳුම් පැලඳීම අනිවාර්ය කර ඇත. මෙම අවස්ථාවල ක්‍රීඩක වෘත්තීයභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කොට කලිසම්, සෙරෙප්පු පැලඳීම තහනම් කර තිබේ.

එමෙන්ම තරග සංචාරවලදී SLC විසින් සපයා දෙන බෑග් රැගෙන යා යුතු අතර, වෙනත් තුන්වන පාර්ශවයක් අනුග්‍රාහකත්වය ලබාදෙන නිෂ්පාදන හෝ ලාංඡන ඇති දෑ පැලඳීම තහනම් කර තිබේ.

සමාජ මාධ්‍ය සහ මාධ්‍ය සාකච්ඡා
ක්‍රීඩාවට ඇති අවධානය රැකගැනීම වෙනුවෙන් තරගාවලි අතරතුර සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා භාවිතය, රාත්‍රි චිත්‍රපට නැරඹීම හා ඒ හා සමාන ක්‍රියාවන් වෙනුවෙන් සීමා පනවා ඇති අතර, SLC අවසරය රහිතව සමාජ මාධ්‍ය වෙත අදහස් ලබා දීම, සම්මුඛ සාකච්ඡා ලබාදීම ද තහනම් කර තිබේ.

එමෙන්ම මාධ්‍ය සාකච්ඡා සඳහා ද කණ්ඩායම් කළමනාකරු විසින් නම් කරන ලද අය අදාළ ඇඳුම් පැලඳ සහභාගීවීම අනිවාර්ය වේ.

ක්‍රීඩක කළමනාකරුවන්
ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට තරගාවලි අතරතුර සහ සංචාරවලට යන අතරතුර සිය කළමනාකරුවන් හමුවීමට අවසර හිමි වන්නේ නැත. එමෙන්ම කණ්ඩායම් රැස්වීම් සඳහා සහභාගී වීමට ද ක්‍රීඩක කළමනාකරුවන් අවකාශයක් හිමි වන්නේ නැත.

තරග සංචාර සහ නවාතැන්
තරග සංචාර ආරම්භ වීමට සති දෙකකට පෙර කණ්ඩායම් කළමනාකරු විසින් අදාළ ගමන් විස්තර ක්‍රීඩකයින්ට ලබා දීමට නියමිත අතර, ඔවුන් ඒවා කොන්දේසි විරහිතව පිළිගත යුතු වේ. එමෙන්ම තරග දින සහ පුහුණු කාලසීමා තුළ දුරකථන භාවිතය ද ඔවුන්ට තහනම් වේ.

දීමනා
විදෙස් සංචාර සඳහා ක්‍රීඩකයින්ට දිනකට ඇමරිකානු ඩොලර් 150ක දීමනාවක් සහ දේශීය තරගාවලි පැවැත්වෙන දින සඳහා දිනකට ඇමරිකානු ඩොලර් 100 පිරිනැමෙන අතර, ඒවා ඔවුන්ගේ ආහාරපාන වෙනුවෙන් ලබාදෙයි. එම මුදල් ඉතිරි කර ගැනීම වෙනුවෙන් හිතාමතා ම ආහාර ගැනීමෙන් වැළකීම තහනම් කර තිබේ.

එමෙන්ම විදෙස් තරග සංචාරවල දී 80Kg බරක් රැගෙන යා හැකි අතර, කණ්ඩායම් කළමනාකරුගේ අනුමැතිය සහිතව තවත් 20Kg රැගෙන යා හැකි නමුත්, මේවා තරග සංචාරයට අදාළ භාණ්ඩ රැගෙන යෑම සඳහා වලංගු වේ.

ගුවන් චාරිකා සහ කාලසටහන්
විශේෂ හේතුවක දී හැරුණු කොට සැමවිටම කණ්ඩායම් සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය එක්ව ගමන් ගත යුතු වෙයි.

එමෙන්ම දෛනික පුහුණු කාලසටහන කණ්ඩායම් පුහුණුකරු, කළමනාකරු සහ නායකයා විසින් තීරණය කරන අතර, එම කාලසටහන පිළිපැදීම අනිවාර්ය වෙයි. ඒවාට අනුගත නොවීම නැවත ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට හේතු විය හැක.

එමෙන්ම දින 20 ඉක්මවන දීර්ඝ තරගාවලිවල දී සංචාරයේ අවසන් දින 12ක කාලය තුළ තම බිරිඳ සහ වයස අවුරුදු 5 වැඩි දරුවන් ගෙන්වා ගත හැකි නමුත්, ඒවාට අදාළ වියදම් සියල්ල ක්‍රීඩකයා විසින් දැරිය යුතුයි. එමෙන්ම ඒ හැර වෙනත් කිසිම සමීපතමයකු හෝ නෑදෑයන් සංචාරයට එක් කර ගැනීම තහනම් වේ. මෙම මාර්ගෝපදේශ කඩ කිරීම මගින් ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට දඬුවම් හිමි විය හැකි අතර, එහි දී ඇමරිකානු ඩොලර් 10,000ක් දක්වා දඩ මෙන්ම, බරපතළ වරදක් කණ්ඩායමෙන් ඉවත් කිරීම, නැවත හරවා යැවීම වැනි තීරණවලට හේතු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවධාරණය කර තිබේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments