Friday, September 20, 2024
HomeLocal Newsකන්ජිපානිගේ වැඩක් - වසන්ත ඝාතනයේ සුල මුල එලියට!

කන්ජිපානිගේ වැඩක් – වසන්ත ඝාතනයේ සුල මුල එලියට!

සැකකරුවන් පැන ගිය වෑන්රිය බුලත්සිංහල දමා ගිහින්

අතුරුගිරියේ සැලොන් එකත් වසන්ත මරන්නම අටවපු එකක්දැයි සැක

වෙඩි උණ්ඩවල කංජිපානිගේ නමත් කොටලා

ගායිකා කේ. සුජීවාගේ පාදයකටත් තුවාල

කැරොකේ අවන්හල් ජාලයක හිමිකරුවෙක් වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් කැරොකේ වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කරමින් සහ ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු සිව් දෙනෙකුට තුවාල සිදු කරමින් අතුරුගිරියේ ටැටූ රූපලාවණ්‍යාගාරයක දී ඊයේ (08) එල්ලවුණු වෙඩි ප්‍රහාරය ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවා ඇති අතර වෙඩි තැබූ සෑම උණ්ඩයකම පාහේ KPI ලෙස සටහන් කර තිබී ඇත.

කංජිපානි මත්කුඩු ජාවාර‍ෙම් යෙදෙන්නේ KPI ලෙස සන්නාමයක් යොදා ගෙනය. ඔහු විසින් ඇණවුම් කරන මත්කුඩු පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් මෙරටට එවන විට පවා KPI ලෙස සටහන් තබන බව බුද්ධි අංශ සඳහන් කරයි.

මෙතෙක් ඉතිහාසයේ පාතාල අපරාධකරුවන් වෙඩි උණ්ඩයේ සිය නම සටහන් කර වෙඩි තබා නැති බවත් එසේ පාතාල සිය නම වෙඩි උණ්ඩයේ සටහන් කර එල්ල කළ ප්‍රහාරය වන්නේ මෙය බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

පුද්ගලයන් දෙදෙනෙක් ටී 56 අවි දෙකකින් මෙම වෙඩි තැබීම කර ඇති අතර, එම අවිවලින් පිටවූ උණ්ඩවල හිස්කොපුවල පැහැදිලිවම KPI යනුවෙන් පෑනකින් සටහන් කර ඇති බව විමර්ශන නිලධාරින්ට පෙනී ගොස් තිබේ.

මෙම පතරොම්වල පැහැය සාමාන්‍ය පතරොම්වලට වඩා වෙනස් බැවින් යම් ද්‍රාවණයක් එහි ආලේපකර තිබේ දැයි දැන ගැනීමට රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගැනීමට ද නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය. සැක කරනුයේ මෙම පතරොම්වල රන් ආලේපිත කර ඇති බවය.

කැරොකේ වසන්ත විසින් වෙඩි නොවදින සුරයක් පලඳින අයෙක් බැවින් සුරයේ බල බිඳිමින් ඔහුට වෙඩි තැබීමට පතරොම්වල රන් ආලේපිත කර තිබේදැයි සැකයක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම්වල සිටින ඇතැම් නිලධාරින් සැක කරති. මෙම වෙඩි තැබීම කැරොකේ වසන්තම ඉලක්කරගෙන එල්ලවී ඇති බව පෙනී යන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

කැරොකේ වසන්ත ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරය එල්ලවුණු රූපලාවණ්‍යාගාරය බළපිටියේ තරුණයෙකුගේ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද එම රූපලාවණ්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට සම්බන්ධ වී ඇත්තේ ඇයට ලද ආරාධනාවකට අනුව කලාකාරිනියක් ලෙස බව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි. බළපිටියේ සිට පැමිණ අතුරුගිරියේ රූපලාවණ්‍යාගාරයක් දැමූ මෙම තරුණයා සහ කැරොකේ වසන්ත අතර ලොකු සම්බන්ධයක් ඇති බව විමර්ශනයේ දී පෙනී ගොස් නැත. එම තරුණයාව කිසියම් පිරිසක් මෙහෙයවා ඔහු මඟින් කැරොකේ වසන්ත අනාරක්ෂිතව එහි ගෙන්වාගෙන මෙම වෙඩි තැබීම සිදු කළේ දැයි සැකයක් මතුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. වෙඩි තැබීමෙන් එම තරුණයාගේ බිරිඳට ද තුවාල සිදුව ඇතත් ඔහුට කිසිදු තුවාලයක් නැති බව ද එම නිලධාරියා කීය.

අතුරුගිරිය හන්දියේ කඩුවෙල පාරේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලයේ කාමරයක මෙම ටැටූ රූපලාවණ්‍යාගාරය විවෘත කර ඇත. කැරොකේ වසන්ත ඇතුළු ආරාධිතයන් රූපලාවණ්‍යාගාරය තුළ සිටිය දී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා ගිනිඅවි ද අමෝරාගෙන තරප්පු පෙළ මතින් පැමිණ එකවර වෙඩි වර්ෂාවක් වසන්තව ඉලක්ක කරගෙන එල්ල කර ඇති බව විමර්ශනයේ දී පෙනී ගොස් ඇත. මෝටර් රථයෙන් වෙඩික්කරුවන් පැමිණ ඉහළ මහලට ගමන්කර වෙඩි තබන අයුරු ආරක්ෂක කැමරාවල ද පැහැදිලිවම සටහන්ව තිබී ඇත. ආරක්ෂක කැමරාවල එම අවස්ථාවේ වේලාව සටහන්ව ඇත්තේ පෙරවරු 10.15 ලෙසිනි.

වෙඩික්කරුවන් දෙදෙනා ගිනි අවි අතැතිව මෝටර් රථයෙන් බසින්නේ ගොඩනැඟිල්ල දෙසට ඇති පිටුපස පැති දොරිනි. ඉතා වේගයෙන් පැතිදොර විවෘත කර ඒ ක්ෂණිකව ගිනි අවි අතැතිව එළියට එන ඔවුන් දෙදෙනා වේගයෙන් ඉහළ මහලට ගොස් රූපලාවණ්‍යාගාරයේ දොර අසල සිට එකවරම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ කැරොකේ වසන්ත සිටි දෙසට බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඔවුන් දෙදෙනා මාස්ක් පැලඳ සිට ඇති බවත් එක් අයෙක් කැප් එකක් පැලඳ සිට ඇති බවත් ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. වෙඩික්කරුවන් දෙදෙනා එක දිගට වෙඩි වරුෂාවක් තැබීමෙන් අනතුරුව එක් වෙඩික්කරුවෙක් ටී 56 අවියේ පතරොම් ගැබ ගලවා මේසයක් මත තබා තවත් පතොරම් ගැබක් සොයන අයුරු ද ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබී ඇත. ඔවුන් අමතර පතරොම් ගැබ් රැගෙනවිත් නොතිබුණු බැවින් නැවත මේසය මත තැබූ පතරොම් ගැබද රැගෙන පහළට දිවගොස් මෝටර් රථයේ නැ‍ඟී පලා ගොස් තිබේ. වෙඩික්කරුවන් දෙදෙනාගේ හැසිරීමත් වෙඩි තබන ආකාරයත්, පතරොම් ගැබ අවසන් වූ පසු එය ගලවා තවත් ගැබක් සොයා නැවත එම පතරොම් ගැබම ටී 56ට සවි කිරීමත් අධ්‍යයනයේ දී පෙනී යන්නේ වෙඩික්කරුවන් දෙදෙනා පළපුරුදු වෙඩික්කරුවන් බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම ප්‍රහාරය එල්ල කළේ යැයි සැක කරන කංජිපානි ඉම්රාන් මේ වන විට ඩුබායි සහ ප්‍රංශය යන රටවල් දෙක අතර සංක්‍රමණය වෙමින් සිටින බවත් පකිස්තානයේ සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ඔහුට ඍජු සම්බන්ධකම් ඇති බවත් බුද්ධි අංශ තොරතුරු සඳහන් කරයි. මොහු ප්‍රංශයේ දේශපාලන රැකවරණය අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටි බවට තොරතුරුද බුද්ධි අංශ වෙත ලැබී තිබුණි.

මෙම වෙඩි තැබීම හා මාකඳුරේ මධුෂ් නමැති පාතාල අපරාධකරු ඩුබායිහි දී එරට පොලිස් අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධයක් ඇති බවට සැකකරන තොරතුරු ද මේ වන විට ඇතැම් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ. මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදය 2019 වසරේ පෙබරවාරි 05 වැනිදා පැවැති අවස්ථාවේ දී ඩුබායි පොලිසිය විසින් එම සාදය පැවැති හෝටලය වටලා මධූෂ් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේය. ඒ අතර ආරාධිතයන් ලෙස එහි ගොස් සිටි මෙරට ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය ගායකයෙක් ද, නළුවෙක් ද ඇතුළු පිරිසක්ම සිටියේය. ඒ හැරුණු කොට අත්අඩංගුවට ගත් අය අතර කංජිපානි ඉම්රාන් ද සිටියේය. ඩුබායි පොලිස් අත්අඩංගුවේ සති දෙකකට වැඩි කාලයක් රඳවාගෙන සිටි කංජිපානි ඉම්රාන් මෙරටට පිටුවහල් කළ අවස්ථාවේ දී පවා ඔහු මාලදිවයිනට පැන යාමට සැලසුම් කර තිබුණි. ඒ ඩුබායි සිට මෙරටට පැමිණෙන අතරතුර මාලදිවයින බලා යාමට ගුවන්යානයක ගුවන් ටිකට්පත් වෙන්කර ගෙනය. කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඔහු පිටතට නොපැමිණි බැවින් කළ පරීක්ෂාවේ දී 2019 වසරේ දී ඔහුව හසුවන්නේ මාලදිවයින බලා පියාසර කිරීමට සූදානමින් තිබුණු ගුවන් යානයට ගොඩ වීමට සිටි මගීන් අතර සිටියදීය.

අත්අඩංගුවට ගත් කංජිපානි කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තබාගෙන දීර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශනයන් පවත්වනු ලැබීය. 2015 වසරේ මාර්තු 28 වැනිදා මෙරටින් පලාගිය කංජිපානි ඉම්රාන් 2016 වසරේ දී ඩුබායිවලින් මතුවන්නේ ආයෝජකයෙක් ලෙස ඩුබායි හි ව්‍යාපාර රැසක මුදල් ආයෝජනයක් ද කරමිනි. 2019 වසරේ ඔහු මධුෂ්ගේ දියණියගේ සාදයේ දී ඩුබායි පොලිසියට හසුවනතුරු රැඳී සිටින්නේ ආයෝජකයෙක් ලෙස ඩුබායි හි පිහිටි සුපිරි තට්ටු නිවාස සංකීර්ණයකය.

ඩුබායිවලින් පිටුවහල් කිරීමෙන් අනතුරුව වසරකට වැඩි කාලයක් රැඳවුම් නියෝග මත වසර දෙකකට වැඩි කාලයක් බන්ධනාගාරගතවත් සිටි කංජිපානි ඉම්රාන් දැඩි ඇප කොන්දේසි මත අධිකරණය විසින් නිදහස් කරනු ලබන්නේ 2022 වසරේ දෙසැම්බර් 20 වැනිදාය. ඇප ලැබීමෙන් පසු වෙස් වලාගෙන අධිකරණ භූමියෙන් පිටතට යන ඔහු පැය 24ක් යන්නට මත්තෙන් බෝට්ටුවක නැ‍ඟී ඉන්දියාවට පැන ගත් බව එකල කියැවිණි. මේ වන විට ඔහු රැඳී සිටින්නේ යැයි කියැවෙන්නේ ප්‍රංශයේය.

මාකඳුරේ මධුෂ්ව සහ තමාව ඩුබායි පොලිසියට හසුකර දීමට මුල්වූ සෑම අයෙකුගෙන්ම පළිගන්නා බව කංජිපානි ඉම්රාන් පවසා ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කැරොකේ වසන්තගේ ඝාතනය සිදුවී දැයි සැකයක් බුද්ධි අංශ මතුකරයි. මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයේ ආරාධිතයෙක් ලෙස කැරොකේ වසන්ත ද සිට ඇති බවත් ඔහු අවසන් මොහොතේ එම සාදයට සහභාගි වීමට ඩුබායි බලා යන ගමන නවතා දමා තිබුණු බවත් එකල කියැවිණි. මත්කුඩු ආරවුලක් මුල්කරගෙන මාකඳුරේ මධුෂ්ව ඩුබායි පොලිසියට කොටුකර දී ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් බව ද එකල කියැවිණි.

මාකඳුරේ මධුෂ්ගේ හිතවතෙක් බව කියන කැරොකේ වසන්ත විශාල මුදලක් මධුෂ්ගෙන් ණයට ලබාගෙන ඇති බවට තොරතුරක්ද බුද්ධි අංශ වෙත ලැබී තිබේ. එම මුදල රුපියල් ලක්ෂ 1400ක් පමණ වනු ඇති බව සඳහන්ය. ඒ ගැන ද මේ වන විට වැඩිදුර සොයා බැලීමක් බුද්ධි අංශ විසින් සිදු කරනු ලබන්නේ මෙම වෙඩි තැබීමට ඒ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධකමක් ඇතැයි පෙනී යන බැවින් යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කැරොකේ වසන්ත කනබොන ස්ථානවල දී මාකඳුරේ මධුෂ්ට වැඩේ දුන්නේ යැයි නිතර පවසා ඇති බවට තොරතුරුද බුද්ධි අංශ වෙත ලැබී තිබේ. කැරොකේ වසන්ත කනබොන තැන්වල දී රොලැක්ස් වර්ගයේ මිල අධික ඔරලෝසුවක් පෙන්වමින් එය මධුෂ්ගේ යැයි පවසන බවට තොරතුරු ද තිබේ. මේ හැමදෙයක් ගැනම විමර්ශනයට ලක්වෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

වෙඩික්කරුවන් පැමිණි ටොයෝටා වර්ගයේ සුදු පැහැති මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමාගොස් තිබිය දී වෙඩි ප්‍රහාරයෙන් පැයකට පමණ පසු පොලිසියට හමුවී ඇත. මෝටර් රථය අතහැර වෑන් රථයකින් වෙඩික්කරුවන් පලා ගොස් ඇති බවත් වෙඩික්කරුවන් දෙදෙනා හැරුණු කොට මෝටර් රථයේ රියැදුරුද වෑන් රථයෙන් පලා ගිය අය අතර සිටින බවත් විමර්ශනයේ දී පෙනී ගොස් තිබේ. මෝටර් රථය අතහැර වෑන් රථයක නැ‍ඟී ඔවුන් පලා යන අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශනද පොලිසියට හමුවී තිබේ. කොරතොට, යාකාල, වෙලේහංදිය හරහා කඩුවෙල නගරයටත් එතැන් සිට හේවාගම දෙසටත් වෑන් රථය ගමන් කර ඇත. එම වෑන් රථය ඊයේ රාත්‍රිෙය් බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙසේ පලා ගිය පිරිස හඳුනා නොගත්ත ද රටින් පලා යාමට ඇති අවස්ථා අහුරවමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද දියත්කර තිබුණි. බොහෝ විට මොවුන් බෝට්ටු මඟින් රටින් පලායාමේ ඉඩක් ඇතැයි සැකයක් ද මතුව තිබුණි.

කොළඹ 07 වෝඩ් පෙදෙසේ පදිංචිකරුවෙක් වූ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත (55) සමඟ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය අනෙක් පුද්ගලයා වන්නේ පැලවත්ත කන්දෙවත්ත පදිංචිකරුවෙක් වූ විජේසූරිය ආරච්චිලාගේ නයන වාසල විජේසූරිය (37) නමැති අයෙකි. මෙම පුද්ගලයා ව්‍යාපාරිකයෙක් බව පොලිසිය කියයි.

වෙඩි වැදුණු අය අතර වසන්තගේ බිරිය වන මැණික් විජේවර්ධන (42) ද සිටින්නීය. ඇය සහ වෙඩි වැදුණු තවත් කාන්තාවක වන යොමානා කෞෂධි යන දෙදෙනා හෝමාගම රෝහලේ දී ශල්‍යකර්ම සඳහා යොමු කර තිබේ. ඔවුන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

වෙඩි වැදුණු කැරොකේ වසන්තත් ගායන ශිල්පී සුජීවාත් ඇතුළු තුවාලකරුවන් මුලින්ම රැගෙන ගොස් ඇත්තේ හෝමාගම රෝහලටය. ඒ වන විටත් වසන්ත මියගොස් සිට ඇති බව සඳහන්ය. වෙඩි උණ්ඩ රැසක් ඔහුගේ සිරුරට වැදී ඇති බව රෝහල් තොරතුරු සඳහන් කළේය. දෙවැන්නා මියගොස් ඇත්තේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. ගායන ශිල්පී කේ. සුජීවාගේ පාදයට වෙඩි වැදී ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත. ඇය සමඟ තවත් අයෙක්ද කොළඹ ජාතික රෝහලට මාරුකර ඇත. වසන්තගේ බිරිය හා අනිත් කාන්තාව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරය එල්ලවුණු ස්ථානයේ තිබී කාන්තා අත්බෑගයකින් රිවෝල්වරයක්ද පොලිසියට හමුවී ඇත. එම අවිය කැරොකේ වසන්තට අයත් එකක් බවට පොලිසිය සැක කරයි. කැරොකේ වසන්ත කාලයක් ගමන් බිමන් ගියේ ප්‍රභූවරයෙක් ගමන් ගන්නා අයුරින් පුද්ගලික ආරක්ෂකයින් ද පිරිවරාගෙනය. එහෙත් ඊයේ ඔහු මෙම උත්සවයට ගොස් ඇත්තේ බිරිය සමඟ පමණක් බවත් පෞද්ගලික ආරක්ෂකයින් කිසිවෙක් සිට නැති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

ආන්දෝලනාත්මක චරිතයක් වන කැරොකේ වසන්ත සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ අයෙකි. ව්‍යාපාරිකයන්, කලාකරුවන්, පාතාල අපරාධකරුවන්, පොලිසියේ මෙන්ම දේශපාලනඥයන් රැසක් ද ඒ අතර විය. සිය උපන්දිනය වෙනුවෙන් ඒ සෑම අයෙක්ම තරුපන්තියේ තට්ටුනිවාස සංකීර්ණයකට කැඳවා සාදයක් ද වාර්ෂිකව පවත්වන බව ද තතුදත් තොරතුරු සඳහන් කළේය.

අසීමාන්තික ලෙස මෑතක සිට කැරොකේ වසන්ත දෙවියන් බුදුන් අදහමින් ආගමික පරිසරයකට නැඹුරුවීමේ ප්‍රවණතාවක් ඇතිවූ බව ඔහුට සමීපතමයින් සඳහන් කළේය. වසන්ත යූටියුබ් නාළිකාවක්ද පවත්වාගෙන ගිය අතර එය ද යම් පිරිසක් අතර ජනප්‍රියතාවක් හිමිකරගෙන තිබුණි.

කැරොකේ වසන්ත ඊයේ අතුරුගිරියේ පැවැත්වෙන උත්සවයට පැමිණෙන බව දැනගෙන කල්තියා කළ සැලසුමකට අනුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය සැක කරයි.

කැරොකේ වසන්ත විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටින බව ඒ අවට සිටි අයෙක් විසින් කළ දැනුම් දීමට අනුව වෙඩික්කරුවන් පැමිණ ඇති බව පෙනී යන බැවින් එම පුද්ගලයා හඳුනා ගැනීමට දුරකතන ජාල විශ්ලේෂණයක්ද සිදු කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගනු ඇත. වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානය නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ගේ පරික්ෂාවටත් මහේස්ත්‍රාත් නිරීක්ෂණයටත් ලක්විය.

මෙම වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ මෙයට පෙර ද රූපලාවණ්‍ය මධ්‍යස්ථානයක් තිබී ඇත. 2017 වසරේ දී පාතාල සාමාජිකයෙක් වන ටනිල් බණ්ඩාර නොහොත් අතුරුගිරියේ බණ්ඩා නමැත්තාට වෙඩි තබා මරා දමන්නේ එම රූපලාවණ්‍යාගාරය තුළදීය. කඩුවෙල සමයං නමැති පාතාලයේ අපරාධකරු බන්ධනාගාරයේ සිට කළ සැලසුමකට අනුව අතුරුගිරියේ බණ්ඩාව එසේ මරා දමා තිබුණේ පාතාල කල්ලි දෙකක් අතර පැවැති ගැටුමක ප්‍රතිඵලයක් ලෙසිනි. එම ඝාතනය සිදු වන්නේ අතුරුගිරියේ බණ්ඩා පේෂල් එකක් කර ගැනීමට මෙම රූපලාවණ්‍යාගාරයට පැමිණ සිටිය දී එහි හිමිකාරිනිය විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව වෙඩික්කරුවෙක් පැමිණීමෙන්ය. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිනිය ඇපමත නිදහස් වීමෙන් අනතුරුව වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්විය.

මාකඳුරේ මධුෂ් ඩුබායි සිට කළ සැලසුමකට අනුව කළුතර එතනමඩලේ දී 2017 වසරේ දී කළුතර බන්ධනාගාර බස් රථයකට අංගොඩ ලොක්කා ඇතුළු කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කරමින් සමයං ඇතුළු 07 දෙනකු මරා දමන්නේ අතුරුගිරියේ බණ්ඩාගේ ඝාතනයට පලි ගැනීමක් ලෙසිණි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස්. ජයමහ මහතාගේ උපදෙස් මත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ කොට්ටාව ප්‍රදීප් කුමාර, නවගමුව සමූහ – සුගත් ප්‍රේමතිලක, මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි,

ඡායාරූප – රුක්මල් ගමගේ

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments