මුහුදෙ පාවෙලා ආව බෝතලයක තිබුණු දියර වර්ගයක්, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මත්පැන් යන අනුමානයෙන් පානය කරලා පහුගිය දවසක ධීවරයින් පිරිසකට ජීවිත අහිමි වුණා.
මේ පිරිස අතර උන්නු සුමිත් කුමාර, එහෙම එම දියර පානය කළ ධීවරයන් 06 දෙනා අතරින් දිවි රැකගත් එකම පුද්ගලයා.
ඔහු තමන් ඇතුළු පිරිස මුහුණ දුන්නු ඒ අත්දැකීම ගැන හම්බන්තොට වරාය පොලිසියට ප්‍රකාශයක් ලබාදීලා තිබුණා.
එම ප්‍රකාශයට අනුව, මුල් උගුර පමණක් පානය කළ ඔහු එතනින් එහාට අදාළ දියර පානය නොකර ඉන්න තීරණයක් අරන්. ඒ, අනිත් අයටත් ‘බොන්න එපා’ යන අවවාදයත් දීලම…
“මුහුදේ පාවෙමින් තිබුණු බෝතලය දැක්කම කට්ටියම කිව්වා ඒක විස්කි බෝතලයක් කියලා.
පස්සේ බොහොම අමාරුවෙන් ඒක කට්ටියම එකතු වෙලා ගොඩගත්තා.
බෝතලේ සීල් කඩල තිබ්බෙත් නැහැ. හැමෝම බෝතලේ කටේ තියාගෙන බිව්වා.
මටත් දුන්නා. උගුරක් බොනකොට බඩ පපුව දන්න ගත්තා.
ඒ වෙලාවේ මම අනිත් අයට කිව්වා ඕක බොන්න එපා කියලා.
කවුරුත් ඒ කියන දේ ඇහුවේ නැහැ. හොඳටම බිව්වා.
පැයක් හමාරක් යනකොට කට්ටිය බඩවල් අල්ලගෙන කෑ ගහන්න ගත්තා.
එක්කෙනා දෙන්නා මැරිල වැටෙනකොට මම දැන ගත්තා බීපු බෝතලේ විස වෙලා කියලා.
මම ඉක්මනටම උයන්න තියෙන පොල් ගෙඩියකින් කිරි මිරිකලා බිව්වා.
උණු වතුරත් බිව්වා..”
“අනිත් අය මැරිල වැටෙනවා මම දැක්කා. මට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙයි ද කියලා හිතා ගන්න බැරි වුණා.
මම බෝට්ටුවේ තිබ්බ රේඩියෝවෙන් ගොඩබිමට පණිවිඩ දුන්නා…”
(උපුටාගැනීම් : දිනමිණ පුවත්පත ඇසුරින්)