Monday, September 16, 2024
HomeSportsමොළේ පාවිච්චි නොකර මැච් දිනන්න පුළුවන්ද?

මොළේ පාවිච්චි නොකර මැච් දිනන්න පුළුවන්ද?

කලක් රටක් එකතුව ඇතිදැඩි කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නම් දරුවා දැන් කලක සිට අසනීපයෙනි. ඇතැමෙක් මෙය සුව කළ නොහැකි රෝගයක් බව ද කියති. තවත් පිරිසක් දොස් කියන්නේ දොස්තරලාටය. ලෙඩ පිට බෙහෙත් බී දැන් සුවයෙන් යැයි කියා විස්සයි විස්ස ලෝක කුසලානයේ ක්‍රීඩා කිරීමට ඇමෙරිකාවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් දරුවාට දැන් සහලවා උණ ගැනී ඇති බව අපි දනිමු.

ඒ කවරක් වෙතත් අප කතාව පටන්ගත යුත්තේ මුල සිටය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලතල ලබාගැනීමේ ඡන්ද සටනට ඡන්ද 147ක් සකස් කර ගැනීම දක්වා එය දිව යයි. එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම අසනීප වන්නට පටන් ගත්තේය. ලෙඩේ සොයා ගැනීමට කිසිදු දොස්තර කෙනකු සමත් වූයේ නැත. මෙතෙක් කර ඇති ප්‍රතිකර්ම ද මෙපමණ යැයි කිව නොහැක. ඉන් කිහිපයක් හෝ නැවත සිහිපත් කර ගැනීම වටී.

මේ අසනීපය සුව කරන්නට ලොකු ලොක්කන් විටක පුහුණුකරුවන් මාරු කළේ රුල්ලටය. සල්ලි මලු පිටින් ගෙවා හෝ ලොව හොඳම පුහුණුකරුවන් අප සන්තක කර ගන්නට ලොකු ලොක්කෝ උත්සාහ කළහ. හතුරුසිංහ නාටකය ද එහිම ප්‍රතිඵලයක් විය. පුහුණුකරුවන් මාරු කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබුණු තැන මීළඟට අත තිබ්බේ පුහුලටය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හලා දැමීම ඊළඟ තීරණය විය. 

ශරීර යෝග්‍යතා පරීක්ෂණය නිර්මාණය කරනු ලැබුවේ තවත් සුවිසල් සංදර්ශනයකි. මෙවන් ආටක නාටක නිසාවෙන් තේරීම් කමිටු ද අවස්ථා කිහිපයකදීම මාරු කිරීමට සිදුවිය. දේශීය තරගාවලි නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන් තනතුරුවලට රුගෙන ඒම, නායකත්වයේ වෙනස්කම් සිදුකිරීම, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නැවත කැඳවීම වාගේ ප්‍රතිකර්ම රුසක් මෑත කාලීනව භාවිත වූ බව අපි කවුරුත් දනිමු.

මේ කවර ප්‍රතිකර්මයක් භාවිත කළ ද ඉන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණු බව මෙවර අසාර්ථක ඇමෙරිකානු සවාරිය අවසානයේ අපට පැහැදිලි වී හමාරය. ක්‍රීඩාවට අපමණ ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයට ක්‍රිකට් දැන් වහ කදුරු වී තිබේ. තත්ත්වය කොතරම් බරපතළ වීද යත් ඇතැම් ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයන්ට පෞද්ගලිකවම වෛර කරන බව පෙනී යයි. පෞද්ගලික හෝ පොදුවේ සතුටක් සොයා ගැනීමට නොහැකි වූ රටකට ජාතියකට එකම විනෝදය වූයේ ක්‍රිකට්ය. දැන් එය රටේ මිනිසුන්ට අහිමි වී යාමෙන් ඔවුන් උමතු ලෙස කිපීම අසාධාරණ යැයි කීමටද නොහැකිය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ තරග සහ මෑත කාලීන ක්‍රීඩා විලාසයන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන්නකුට සරලව තේරුම් යන සත්‍යයන් කිහිපයකි. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිටියේ තීරණ ගැනීම පිළිබඳ දක්වන්නේ පුදුමාකාර දුර්වලතාවකි. මුළුමනින්ම පාහේ ඉකුත් තරග සියල්ලෙහිම පරාජයන්වලට හේතු වූයේ එම දුර්වල තීරණයි. 

කාසියේ වාසිය ලබාගෙන ගන්නා තීරණයේ පටන් නායකත්වය ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණ ගැනීමෙහිලා දක්වන දුර්වලතා ඉතා බරපතළය. පිතිකරුවන් පන්දු තෝරා බේරා ගැනීම, අවස්ථා හඳුනා ගැනීම ආදියට දක්වන දුර්වලතා ඉකුත් තරගවලදී තදින්ම කැපී පෙනුණි. එසේම පිතිකරණ අනුපිළිවෙළේ සිදු කරනු ලැබූ වෙනස්කම් ද ඉතා දුර්වල තීරණ බව පසක් කිරීමට නායකත්වය සමත් විය. 

ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් අති දක්ෂයන් බවට පාරම් බෑවේ අප පමණක් නොවන නිසාවෙන් එහි යම් සත්‍යතාවක් වන බව පිළිගත යුතුය. ශ්‍රේණිගත කිරීම් සැලකුවද ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ගේ දක්ෂතා මෑත කාලීනව කැපී පෙනෙයි. එම නිසා ඇතැම් පන්දු යවන්නන් &මං පොර* මානසිකත්වයක සිටින බව පෙනී යයි. මනෝභාවයන්ගේ කැඩපත හැසිරීම නිසා ප්‍රේක්ෂකාගාරයේ සිට බලා සිටින අපට එය කිව හැකිය.

ක්‍රිකට් යනු මනස සමඟ සිදු කළ යුතු ක්‍රීඩාවක් බව නිතර සඳහන් කරන්නේ මේ විෂයේ ප්‍රවීණයන්ය. මෙය හුදෙක් ශරීර ශක්තිය හෝ දක්ෂතාවය මතම පදනම් වන ක්‍රීඩාවක් නොවේ. එබැවින් එම ක්‍රීඩාවේ කොතරම් දක්ෂයන් වුවද මෝඩයන්ට මෙයින් ජය ලැබීමට ඇත්තේ අල්ප අවස්ථාවකි. ඇතැම් අවස්ථාවල දක්ෂතාවය මතම පදනම් වෙමින් ජයග්‍රහණ ලද හැකි නමුත් එම ජයග්‍රහණවල සම්භාවිතාව ඉතාම අල්ප බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. සරලවම කිවහොත් ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කරන මොළකාරයන් නිර්මාණය කිරීමට දශකය තුළ අසමත් වී තිබේ. ශ්‍රී ලංකාව දක්ෂයන් බිහිකර තිබේ. එහෙත් ඔවුන්ගෙන් බහුතරය අනුවණ උද්දච්ච අවිනීත පිරිසක් වූ බව කීමට අප මැලි විය යුතු නැත. මෑත අතීතයේ ක්‍රීඩකයන්ගේ හැසිරීම් පිළිබඳ, තරග තහනම් පිළිබඳ සහ වර්තමාන ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ සැමරුම් සහ පිටිය තුළ හැසිරීම් එම කරුණ තහවුරු කිරීමට ඕනෑ තරම් සාක්ෂි අප වෙත සපයයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව නිරන්තර නැගෙන චෝදනාවක් වන්නේ තරග සැලසුම්වල ඇති දුර්වලතාවයයි. සෑම අතින්ම සැලසුමක් යනු නිරවුල් පැහැදිලි මනසකින් තර්කානුකූලව නිර්මාණය කරගත යුත්තකි. දත්ත තොරතුරු පහසුකම් තාක්ෂණය මොන තරම් තිබුණද මිනිස් මනස තරම් සැලසුම්කරණය සඳහා සුදුසු මෙවලමක් තවත් නොවේ. එසේම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද එවන් මනසක් අවශ්‍ය වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

පෞද්ගලික දක්ෂතා නොදැක්වූ නායකයකු යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකත්වයක් ලැබුවේ ඇයිදැයි මේ න්‍යාය ඔස්සේ ඔබට විග්‍රහ කරගත හැකිය. එහෙත් පෞද්ගලික දක්ෂතා මත සිදුවන දුර්වල කිරුම් මිනුම් නිසා එම නායකත්වය අපට අහිමි විය. කණ්ඩායම සමඟ කටයුතු කරන පුහුණුකරුවන් හා සහායක කාර්ය මණ්ඩල තුළ පවා කණ්ඩායම් හැඟීමට, විනයානුකූල බවට, තීරණ ගැනීමේ හැකියාව වැනි දෑට වැඩි ගෞරවයක් හිමි නොවන බව මෑත කාලීනව පෙනී යයි. ප්‍රේක්ෂකාගාරයේ සිට බලන විට ඔවුන් ද විශ්වාස කරන්නේ හුදු දක්ෂතාවයම පමණක්ම අපට හැඟී යයි.

මෙවන් වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා විචාරකයන් සහ ජ්‍යෙෂ්ඨයන් නිතර සඳහන් කරන “ක්‍රීඩකයෝ හරි දක්ෂයි”, “එයාට තමයි ලංකාවේ සුපිරිම ටැලන්ට් එක තියෙන්නෙ”, “ලෝකෙ හොඳම බෝලර් මෙයා” වැනි ප්‍රකාශ සත්‍ය විය හැකි බව අපට පැහැදිලි වේ. සැබැවින්ම ඔවුන් දක්ෂ විය හැකිය. ගැටලුව ඇත්තේ ඔවුන්ගේ දක්ෂතාවයේ නොව මනසේය. නිතර නිතර අවස්ථා ලැබෙන උපතින්ම ක්‍රිකට් රුගෙන ආ බව කියන, ලංකාවේ දැනට සිටින දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කරන සිටින ක්‍රීඩකයාගේ දුර්වලතාව ඇත්තේ බුද්ධියේ බව දැන් නොවලහා අපි සඳහන් කරමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සඳහා මේ වන විටත් ඉදිරිපත් වන යෝජනා මෙපමණ යැයි කිව නොහැකිය. එම යෝජනා කිසිවක් බැහැර කළ නොහැකි බවද සඳහන් කරමු. එහෙත් නැවත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනැගීමට නම් පාසල් මට්ටමේ සිටම දක්ෂතාවය බුද්ධිය සහ විනය ඇති ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට බලධාරීන් සැලසුම් සකස් කළ යුතුමය. නැතිනම් මෙම විකාරරෑපී තත්ත්වය මෑතක වෙනස් වෙතැයි අපේක්ෂා කළ නොහැකිය.

අසනීප වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නම් දරුවා සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර නොමැති දෑ අතරින් ඉතුරු වී ඇත්තේ ප්‍රධාන කාර්යයන් දෙකකි. ඉන් එකක් නම් ක්‍රිකට් පාලකයන් මාරු කිරීමයි. රටේ පාලකයන් මාරු කිරීම පහසු වුවද ක්‍රිකට් පාලකයන් මාරු කිරීම අපහසු බව අකමැත්තෙන් වුවද අප පිළිගත යුතුව තිබේ. එහෙත් පාලකයන් මාරු කිරීමෙන් පමණක්ම ක්‍රීඩාව නැවත ගොඩනැගිය හැකිදැයි කිව නොහැකිය. මේ වන විට ක්‍රිකට් කණ්ඩායම විවිධාකාරයේ අත්හදා බැලීම්වලට ලක් කර ඇති බැවින් ක්‍රීඩකයන් මාරු කිරීමෙන්ද ලොකු ප්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකි බව පිළිගත යුතු සත්‍යයකි. ඇවැසි නම් සම්පූර්ණ අලුත් කණ්ඩායමක් අත්හදා බැලිය හැකිය. එය ඒ තරම් ප්‍රායෝගික යෝජනාවක් නොවේ. එහෙත් දැනට සිටින ක්‍රීඩකයන්ගේ මොළ හෝදා යථාර්ථයට සමීප කිරීමට හැකි නම් සැබැවින්ම එය ඵලදායීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නම් දරුවාගේ රෝගය මොළය කේන්ද්‍ර කරගත් පිළිකාවකි. හැකි නම් ඔහුට මොළ ගෙඩියක් බද්ධ කළ යුතුය. නැතිනම් මේ දරුවාට නිදහසේ දෙනෙත් පියා ගැනීමට දී, අලුත් දරුවකු අප සාදාගත යුතුය. තිත්ත නමුත් කීමට ඇති සත්‍ය එපමණය.

• චමිඳු නිසල් ද සිල්වා 

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments