Sunday, September 8, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – දුමින්ද දිසානායක

  • අපේ සන්ධානය නැතිව මීළඟ ජනපති හදන්න බෑ
  • රට හදන වැඩේට අපි දැනටමත් ආණ්ඩුවට උදව් කරනවා
  • මෛත්‍රීපාල මහත්තයා හරියට නොකළ නිසා පක්ෂය කඩා වැටුණා

අපි දැක්කා පහුගියදා හම්බන්තොටින් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගිටීම කියලා රුස්වීමක් කළා. ඒකට පක්ෂයෙන් අයින්වෙලා ගිය අයත් ඇවිල්ලා හිටියා. මොකක්ද මේ රුස්වීම. මොකක්ද මේකේ අරමුණ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළේ හැමදාම සන්ධාන ගතවෙලා. ඒකේ ආරම්භය තමයි අපි හම්බන්තොටින් පටන් ගත්තේ. මහින්ද අමරවීර මහත්තයගේ මූලිකත්වයෙන් ශ්‍රීලනිපයට එක්වෙන්න කැමති අය එක්ක අපි මේ රුස්වීම කළා.

දැන් ඔය පක්ෂයේ ඉඳලා ගිය සමහර අයත් ඇවිල්ලා තිබුණා. දැන් ඒ අය එකතු වෙන්නේ සන්ධානගත වෙලාද? නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නැවත අරන්ද?

තවමත් ඕනෑම කෙනෙක්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවෘතයි. ඒ ආපු අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙනවද නැත්නම් සන්ධාන වෙනවද කියන එක තවම සාකච්ඡා කරලා ඉවර නෑ.

මේක මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නැවත පණ දීමක්ද?

ඒක දැන්ම කියන්න බෑ. ඉදිරියේදී කියන්නම්.

ගිය අය නැවත කෙසේ හෝ එකතු වෙන්න නම් එකඟතාවයක් තියෙන්න ඕනෑනෙ. මොකක්ද තියෙන එකඟතාවය?

නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරලා තියෙන්නෙම ඉතිහාසයේ ඉඳලා සන්ධානගත වෙලා. ඒ සන්ධානය නැවත ගොඩනගන්න අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ සඳහා වන සාකච්ඡා ගැන තවම මාධ්‍යයට කියන්න බෑ.

අපිට ආරංචි හැටියට ගිය කට්ටිය එන්න එකඟ වෙන්නෙම මෛත්‍රීපාල මහත්තයා අයින් වුණු නිසා කියලා කියනවා. ඒක ඇත්තද? 

ඔව්. ඒකත් ප්‍රධාන හේතුවක්.

තව කට්ටියක් ඉන්නවා ඩාර්ලි පාරේ පක්ෂ කාර්යාලයෙන් පිටත. ඒ කට්ටිය දැන් කවුද? ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමේද?

ඩාර්ලි පාරෙන් පිට කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඒත් ඉදිරි සතිය වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම එකක් කියන එක ඔබලට දැකගන්න පුළුවන් වෙයි.

අලුත් සභාපති කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත් වෙනවද?

නෑ දැනටමත් වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, වැඩබලන මහලේකම් මම. ඉතින් පක්ෂයේ වැඩ බලන තනතුරැ හෝ තනතුරැ නැතිවුණත් පක්ෂය දැන් එක තැනක කටයුතු කරනවා. මෙච්චර කල් තිබුණේ නැත්තේ ඒකනේ.

නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම හිටියේ පහුගිය කාලය පුරාම ජනාධිපතිවරයට උදව් කරන අදහසේ. දැන් ඔවුන් ඔබලා සමඟ එකතු වීමත් එක්ක ගොඩක් අය කියන්න ගත්තා ශ්‍රීලනිපය නොනිල විදිහට ආණ්ඩුවට විකිණුවා කියලා. ඒක ඇත්තද?

මේ රට අස්ථාවර වුණු වෙලාවක අපිට මගහැරලා, හැංගිලා, අත්පුඩි ගහලා විවේචනය කරන්න අයිතියක් නෑ. අපිට යුතුකමක් තියෙනවා රට අස්ථාවර වන හැම මොහොතකම ඊට මැදිහත් වෙලා උදව් කරන්න. ඒ අනුව අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ගොඩක් දෙනෙක් ආණ්ඩුව එක්ක ඉන්නේ. මම විතරයි නැත්තේ. ඒ නිසා විශේෂයෙන් ආණ්ඩුවට උදව් කිරීමක් නෑ. දැනටමත් උදව් කරනවා අපි රට හදන්න.

හාන්සිවෙලා ගිය ශ්‍රීලනිපයට ජනතා ඉල්ලුමක් තියෙනවද?

මේ සන්ධානය නැතුව ඊළඟ ජනාධිපති හදන්න බෑ.

ඇයි හදන්න බෑ කියන්නේ?

අපේ වේදිකාව තුළ සමස්ත නිදහස් පක්ෂයම ඉන්නවා. පාර්ලිමේන්තු කණ්ඩායම විතරක් නෙමේ අපේ සංවිධායකවරැ, පාක්ෂික‍යෝ පවා. මෛත්‍රීපාල මහත්තයා පහුගිය කාලේ පක්ෂ යාන්ත්‍රණය හරියට හැදුවේ නෑ. ඒ නිසා පක්ෂය කඩා වැටුණා.කොහොම වුණත් අපේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමයි, තවත් මන්ත්‍රීවරැ 20ක පිරිසකුයි මෙතැන ඉන්නවා. ඒ අය නැතුව කොහොමද ජනාධිපති කෙනෙක් හදන්නෙ. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයව අරගෙන අනුරාධපුර පළමු රුස්වීමට නැගලයි මම කිව්වේ අපේ පක්ෂයේ තීරණාත්මක ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා කියලා. එවෙලේ අපිට තිබුණු ලක්ෂ 14ක ඡන්ද ටික තමයි ඔහුගේ ජයග්‍රහණයට හේතු වුණේ. ඒ ටික නැත්නම් ඔහු පරාදයි.

ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති කරන්න එකතු වෙනවා?

අපි තවම අපේක්ෂකයෙක් තෝරලා නෑ. හම්බන්තොට රුස්වීමෙදිත් ඒ ගැන කිව්වේ නෑ. අපි මෙතැනින් පස්සේ කිසිම විදිහකින් අපේ ඡන්ද ටික නිකම් දෙන්න ලෑස්ති නෑ. අපේ යෝජනාවලට ප්‍රතිපත්තියට එකඟ වෙන අයට සහාය දෙනවා.

අනුශාසක තනතුරක්වත් මෛත්‍රීපාල මහත්තයට නැද්ද?

එතුමා නිල වශයෙන් අපේ පක්ෂයේ අනුශාසකවරයෙක්.
 

I ගයාන් ගාල්ල‌ගේ

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments