Sunday, September 8, 2024
HomeLocal Newsආර්ථිකය දැන් කෙලින් වෙලා!

ආර්ථිකය දැන් කෙලින් වෙලා!

  • තනි අපේක්ෂකයෙක් දාලා පොහොට්ටුවට දිනන්න බෑ
  • ජනතාව කියන දේ ගැන සමහර නායකයන්ට තාම අවබෝධයක් නෑ
  • මට මේ ආණ්ඩුවේ හොඳයි නරකයි දෙකම පේනවා

Q ඔබ තවම පොහොට්ටුවේ සාමාජිකයෙක්ද? නැද්ද? ස්වාධීනද?

මම තවම පොහොට්ටුවේ සාමාජිකයෙක්. තවම මම සාමාජික මුදල් ගෙවනවා. ඒ කටයුතු කරනවා. ඒත් යම් කාරණා නිසා මම විවේචනාත්මක කරුණු දැක්වීම් සිදු කරමින් ඉන්නවා.

Q පොහොට්ටුව මැතිවරණයකට ඉදිරිපත් වුණොත් ඔබේ සහාය ලබාදීම තියෙනවද?  

මම තවම ඒ ගැන හිතලා නෑ. මොකද තවම මැතිවරණයක් ගැන සඳහන් කිරීමක් කරලා නෑනේ. ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ජනතාවගේ අපේක්ෂාවන් තමයි මම ඉෂ්ඨ කරන්නේ.

Q දැන් ඔබට පේනවා ඇතිනේ මේ තරගකාරී දේශපාලන සටන තුළ නායකයෝ රට හදන්න කතා කියනවා. අපිට කියන්නකෝ ඔබට එහෙම විශ්වාස කරන්න පුළුවන් නායකයෙක් මේ දේශපාලනය තුළ පේනවද?

මම හිතන්නේ නෑ තවම ජනතාව ඒ වෙනුවෙන් සූදානමින් ඉන්නවා කියලා සහ උවමනාවකින් ඉන්නවා කියලා. ඒ වගේම බහුතර දේශපාලනඥයනුත් තවම හරි අදහසක නෑ. ජනතාව ඉතාම අසරණ වෙලා ඉන්නේ. ජනතාව හොයන්නේ සහනයක්. ඉතින් හතර ගාතේ වැටුණු ආර්ථිකය දැන් යම් තරමකට කෙළින් වෙලා තියෙන්නේ. බඩු හිඟය අඩුවෙලා, ගැස් මිල අඩුවෙලා, තෙල් මිල අඩුවෙලා තරමක ස්ථාවරයකට එමින් ඉන්නේ. හැබැයි ආර්ථිකය මොන දේ වුණත් මේ රටේ බඩු මිල අඩු වෙන්නේ නෑ කියලා හැමෝම කියනවා. ආණ්ඩුවෙන් දෙන සහනය පවා ගන්නේ මේ ව්‍යාපාරික පැලැන්තිය.

Q ඒකටනේ ආණ්ඩුවක් ඉන්නේ?

ඔව් ඒක මට්ටු කරන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ සහන ජනතාවට යන්නේ නැත්තේ කියලා. පහුගිය ආර්ථිකය කඩා වැටුණු වෙලාවේ භාණ්ඩ මිල ඉහළ ගියාට දැන් සහනයක් ලැබිලත් ජනතාවට සහනයක් දෙන්නේ නෑ මේ ව්‍යාපාරිකයන්. ඒවා අඩුවෙන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවනේ. ඒ වගේම මේ ආණ්ඩුව දිස්ත්‍රික්ක මට්ටමින් යම් සංවර්ධනයන් සිද්ධ කරන්නත් කටයුතු කරමින් ඉන්නේ. මේ  වසර වෙද්දී ඉතාම හොඳ තැනකට එයි. ඒ නිසා තිබුණු තත්ත්වයට වඩා තරමක් උඩට මේ රට ගිහින් තියෙනවා.

Q ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එකඟතාවයක ඉන්නවා?

මම 100% ක් එකඟතාවයක නෑ. දැන් මම විදුලිබල පනතට ඡන්දය දෙන්න ගියේ නෑ. මම ආර්ථික වැඩපිළිවෙළට උපරිම සහාය දෙනවා. ඒත් සමහර දේවල් කළමනාකරණය කරගන්න ඕනෑ. දැන් මේ දූෂණ වංචා නතර කරන ඒවා වගේ දේවල් අයි.එම්.එෆ් එකට ඕනෑ විදිහට කරන්න ඕනෑ නෑ. මම පාර්ලිමේන්තුවේ විවෘත සහ වගකිය යුතු රජයක් වෙනුවෙන් ආංශික අධීක්ෂණ මණ්ඩලයේ සභාපති. මමත් දිගින් දිගටම මේ රටට විවෘතව සහ වගකීමෙන් වැඩ කරන වැඩපිළිවෙළක් වෙනුවෙන් කටයුතු කරමින් යනවා. අපි ඒ හරහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්න උත්සාහ ගන්නවා. සමහර ආණ්ඩුවේ ලාබ ලබන ආයතන විකුණන එකට මම විරුද්ධයි. ඒකයි මම කිව්වේ මට ආණ්ඩුවේ හොඳත් පේනවා නරකත් පේනවා. නරකෙදිත් මම මගේ මතය ඉදිරිපත් කරනවා.

Q ඔබ සමෘද්ධිලාභීන් වෙනුවෙන් කතා කළ කෙනෙක්. ඒත් දැන් අස්වැසුම හරහා ඇතැම් අයට සහන ලැබෙන්නේ නෑ. ඒ වෙනුවෙන් මොකද කරන්නේ?

ඇත්තටම අස්වැසුම හරහා සමෘද්ධිය හතරගාතේ දාලා විනාශ කරන තැනට පත් කළා. නිලධාරින් පැත්තෙන් යම් ප්‍රශ්න තියෙනවා. ඊටත් වඩා ලක්ෂ ගාණක් සහනාධාර නොලැබිය යුතු අය සහනාධාර අරගෙන ඉන්නවා. ඉහළ ආදායම් තියෙන අය  ඉන්නවා. උතුරු නැගෙනහිර කට්ටියක් මාව හම්බවෙන්න ආවා. ඒ අය කියන්නේ ඇමෙරිකාවේ පදිංචිව ඉන්න අයටත් දීලා කියලා. දකුණේ ව්‍යාපාරිකයන්ටත් සහනාධාර දීලා. අහිංසක මිනිස්සුන්ට නෑ. අන්ත අසරණ මිනිස්සුන්ට අස්වැසුමෙන් සහනයක් නෑ. මෙන්න මේ දේවල්වලට මම විරෝධය පළ කරනවා.

Q පහුගිය අරගල කාලයේ ඔබ කියන දේවල් තමයි බහුතර ජනතාවගේ මතය තිබුණේ. ඒත් මේ දේශපාලනඥයෝ ඒවා දැන්වත් පිළි අරන් තියෙනවද?

අරගලයේ සාධනීය කාරණා තියෙනවා. සාධනීය කාරණා සඳහා ඉල්ලීම් ආවා. ඇතැම් අය පුද්ගල ප්‍රතිරෑප වෙනස් කරන්න විතරයි අරගල කළේ. ඇත්තටම අරගලයෙන් වෙන්න ඕනෑ දූෂණ වංචා නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න. ඒක කරන්න ඕනෑ පාලනය විසින්. මම හිතනවා පාලනයේ ඇතැම් අය ඒක තේරුම් අරන් ඉන්නවා. තවත් අය වගේ වගක් නැතුව ඉන්නවා.

Q දැන් පොහොට්ටුව ඇතුළෙන් ජනාධිපති අපේක්ෂකයෙක් හොයනවා. කට්ටියක් කියනවා වර්තමාන ජනාධිපතිව ගේමු කියලා කියලා. ඔබ ඉන්නේ මොන අදහසේද?

මම දැනට දන්නේ නෑ අපේක්ෂකයා කවුද කියලා. ඒත් මේ පාර බලවේග තුනකින් එනවා. එකක් පොහොට්ටුව සහ ආණ්ඩුව එකතුවෙන්, දෙක සජබයෙන්, තුන මාලිමාවෙන්. හැබැයි පොහොට්ටුවට තනියෙන් අපේක්ෂකයෙක් දාලා ජයග්‍රහණය කරන්න බෑ. පොහොට්ටුවේ සමහර අයගේ අඩුපාඩුකම්  නිසා ජනතාවගෙන් ආපු අමනාපකම් මගහරවා ගන්න පුළුවන් වුණේ වර්තමාන ජනාධිපතිතුමා හරහා. ඒ නිසා පොහොට්ටුවට යුතුකමක් හැටියටවත් මම හිතන්නේ නෑ වෙන අපේක්ෂකයෙක් දාන්න පුළුවන් කියලා.

Q පොහොට්ටුව දැන් නැවතත් අඩුපාඩු සකසා ගනිමින් ගමනක් ආරම්භ කරලා තියෙනවා කියලා ඔවුන් කියනවා. ඔබ හිතනවද පොහොට්ටුව නිවැරදි මාවතට ඇවිත් කියලා?

මට පේන්නේ නෑ. සමහර නායකයෝ තවමත් ජනතාව කිව්ව දේ අවබෝධ කරගෙන නෑ. පොහොට්ටුවට නිවැරදි වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනෑ. ඒ සඳහා අවබෝධයක් සහ බුද්ධියක් නෑ. ඒත් ග්‍රාමීය ජනතාව තවම පොහොට්ටුව අත්හැරලා නෑ. ඒත් සමහර නායකයෝ තවම ඒක තේරුම් අරගෙන නෑ.

I ගයාන් ගාල්ලගේ

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments