Sunday, November 24, 2024
HomeLocal Newsපෞද්ගලීකරණයට එරෙහි මවාපාන ’’බිල්ලා’’!

පෞද්ගලීකරණයට එරෙහි මවාපාන ’’බිල්ලා’’!

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කරන ආණ්ඩුවේ සැලැස්ම පරාජය කරන දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. දේශපාලන මතවාද නිර්මාණය කරන අංශ ගණනාවක් මෙහි කොටස්කරුවන් බව පෙනේ. වරින් වර බලයට පත්වන ආණ්ඩු ආරම්භ කරන නමුත් පෞද්ගලිකකරණ සංකල්පය ක්‍රියාත්මක කරන්නට අපහසු අංශයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පෙළඹවීම හේතු කොටගෙන රජයේ වියදම කපා හැරීමේ පියවරක් වශයෙන් පෞද්ගලිකකරණය නැවතත් ඉදිරියට පැමිණ ඇත. දශක හතරකට වැඩි කාලයක් ලෝකය පුරා සෑම රටක්ම පාහේ අත්හදා බලන ලද සහ සැලකිය යුතු ආර්ථික වාසි ජන සමාජයට අත්පත් කර දෙන්නට සමත් වූ රජයට අයත් ව්‍යාපාර පෞද්ගලික අංශයට පවරන සැලැස්ම ශ්‍රී ලංකාවේදී එහි වචනයෙන් පවා ජන සමාජයෙහි යම් භීතියක් ඇතිකොට තිබේ.

රජය රටේ සම්පත් කොල්ලකන ව්‍යාපාරික කණ්ඩායමක් වශයෙන් ඇතැම්හු සඳහන් කරති. ආණ්ඩුව මහජන සම්පත් විනාශ කරන අතර එයින් අති මහත් දූෂණයක් කරන බව විපක්ෂ දේශපාලන අංශ බරපතළ අදහස් පතුරුවයි. ව්‍යාපාර අයිතිය, ඒවා මෙහෙයවීමේ බලය රාජ්‍ය සතු පරම අයිතියක් යන මතය ඉතාම පැරණි එකකි. ව්‍යවසාය පුළුල් වීම, තරගකාරීත්වය, අලුත් තාක්ෂණය වැනි කිසිම අංශයක් ගැන නොසලකා කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් කරගෙන යෑම රජයට පමණක් බාර කළ යුතුය යන කාරණය විශාල මිත්‍යාවකි. 

I ආණ්ඩුවත් විපක්ෂයත් ජනතාව මත පටවන බර

රජය කරගෙන යන අසාර්ථක ව්‍යාපාර අත්හැරීමෙන් හා දැනට කරගෙන යන ව්‍යාපාර වඩාත් පුළුල්ව කරගෙන යන්නට ඉඩ දීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු ශක්තියක් ලබාගත හැක. අවුරුදු දෙකක කාලය තුළ සියයට දහයක පමණ පසුබෑමක සිටින රට නැවත සුපුරුදු රිද්මයට ඇතුළු වන්නට ගතවන කාලය මෙතෙක් ගණන් බලා නැත. මෙම වසරේ සියයට දෙකකට අඩු සංවර්ධනයක් ලැබෙනු ඇති බව දැක්වේ. 2025 වසරේදී පවා එයින් එපිට සංවර්ධන ඉලක්කමක් ගැන කියැවෙන්නේ නැත. අසාර්ථක ව්‍යාපාර හා ආයෝජනයට අලුත් අවස්ථා ඇතිකර නොගෙන මෙම බාධකවලින් ගැලවී ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් නැත.

ඡන්දයකදී ආණ්ඩුව පරාජය කර බලය ලබාගැනීම විපක්ෂයක අරමුණ වේ. එහිදී ඇති කළ යුතු පීඩනය සැලකිය යුතුය. විපක්ෂයක සිටින අතරවාරයේ ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම ගැන කැක්කුමෙන් කතා කරන පිරිස අලුතින් බලයට පත් වූ පසු සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියකට පැමිණෙති. පෞද්ගලිකකරණයට පෙනී සිටි පාර්ශ්වය එදා විපක්ෂය විසි කරන ලද සටන් පාඨ නැවත බලයට පත්වීම සඳහා අතට ගනී. මෙම විෂම චක්‍රයෙහි නිමාවක් නැත. 1978 වසරේ සිට ගත වූ කාලය තුළ පැවැත්ම වෙනුවෙන් ගත් තීන්දුවල අවසානය මහජනතාව කිසිසේත් ප්‍රාර්ථනා නොකළ ආර්ථික අර්බුදයකින් කෙළවර වී තිබේ. රජය සතු අසාර්ථක ව්‍යාපාරවල බර ජනතාවට දිගින් දිගටම උහුලන්නට සිදුවී ඇත. එය ආර්ථික අර්බුදය ඇතිකරන්නට බලපෑ එක සාධකයකි. පාඩු පියවනු සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරන අතර ඒවා පියවන්නට මුදල් අච්චු ගැසීම සැලකිය යුතු විනාශයක් ඇති කර තිබේ.

I පෞද්ගලිකකරණය උරුම කළ ඉරණම 

ශ්‍රී ලංකාවේ ඉතිහාසය සලකා බලන විට පළමුවෙන්ම පෞද්ගලිකකරණය වූයේ ආණ්ඩුව යටතේ පැවැති බුහාරි හෝටලයයි. එදා පාර්ලිමේන්තුවේදී හෝටලය පෞද්ගලිකකරණය කළහොත් ජනතාවට ආහාර ලබාගත හැකි පහසු අවස්ථාව විනාශ වන බව මතු කරන ලද බව හැන්සාඩ් වාර්තා උපුටා දැක්විය හැකිය. නමුත් අවස්ථාව අහිමි වූයේ දේශපාලනඥයන්ටය. ඔවුන් අනිසි ලෙස භාවිත කළ ආයතනය අද තිබුණේ නම් පාර්ලිමේන්තුවේ කෑම වේලට නොදෙවැනි විනාශයක් මෙහි සිදුවන බව අද මාධ්‍ය වාර්තා කරන්නට ඉඩ තිබුණි. 

වැවිලි සංස්ථාවට අයත්ව තිබුණු වතු පෞද්ගලික සමාගම් බවට පත් කෙරිණි. එයින් ඇතැම් වතු අනූනම අවුරුදු බද්දකට පවරා ඇත. තවත් සමහර වතුවල බදු කාලය නොබෝ දිනකින් අවසන් වීමට නියමිතව තිබුණි. මෙම වතු සමාගම්වල අනාගත පැවැත්ම ගැන සලකා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කෙරිණි. ඉස්කාගාර සංස්ථාවේ සිට ලුණු සංස්ථාව දක්වා පරාසය රජයට අයත් ව්‍යාපාර පෞද්ගලිකකරණය කරන ලද අතර තවදුරටත් පවත්වාගෙන යා යුතු නැති ආයතන ගණනාවක් අහෝසි කරන ලද බව ඉතිහාසය පරීක්ෂා කරන පසු දැක්වේ. වී මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව තුන් වතාවක් අහෝසි කර ඇත. එහෙත් බලයට පත්වන ඊළඟ ආණ්ඩුව එය නැවත අරඹයි. කඩදාසි සංස්ථාවද එසේය. පිදුරු භාවිත කර කඩදාසි තනන්නට ආසියාවේ විශාල කම්හල් ඇඹිලිපිටියේ හා වාලච්චවේ පිහිටුවීය. කඩදාසි හදන්නට දැව හෝ පිදුරු නැති කාලයේ අසාර්ථක වූ මේවා අධික පාඩු හේතු කොටගෙන වසා දමන ලද නමුත් දේශපාලනඥයන් මේවා නැවත රජයේ ධනය යොදා ආරම්භ කළහ. ඒවාද අසාර්ථක වී තිබේ. සීනි කම්හල්වලටද එවැනි ඉතිහාසයක් ඇත. මෙම කටයුතු සඳහා මුදල් අයවැය මගින් යෙදවෙන විට වන්දි ගෙවන්නේ පොදු ජනතාව බව පෙන්වා දිය යුතු වේ.

පෞද්ගලිකකරණය කළ ඇතැම් ව්‍යාපාර මුදල් ගෙවා නැවත රජයට ගත් අවස්ථා තිබේ. රක්ෂණ සංස්ථාව එබඳුය. වටිනාකම හා පොලිය ගෙවන්නට ධනය නැති එකල ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර පවරා ගත්තේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගිවිසුම් කාලය හමාර වූ පසු ලංකා හා මහජන බැංකුවල විදේශ මුදල් ණයකරයකින් මිල දී ගෙන ඇත. එය නොපියවන ලද අතර තවමත් පොලිය ගෙවමින් සිටී. ෂෙල් ගෑස් සමාගම නැවත පවරා ගැනීමේදී රක්ෂණ සංස්ථා මුදලින් එය මිල දී ගත් අතර එයද මෑතක් වනතුරු අසාර්ථකව පැවැතිණ.

I ආණ්ඩුවේ සූදානම 

දැනට සාර්ථකව ව්‍යාපාර කරගෙන යන ලිට්රෝ සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, වෝටර්එජ් හෝටලය, ලංකා හොස්පිට්ල්, හිල්ටන් හෝටලය සහ රක්ෂණ සංස්ථාව ඇතුළු ව්‍යාපාර විශාල ප්‍රමාණයක් පෞද්ගලිකකරණය කළ යුතු ලැයිස්තුවේ ඇත. ඉතාම අසාර්ථක තත්ත්වයක පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාවේ කොටස් සහ විදුලිය බලාගාර ඇතුළු රාජ්‍ය වත්කම්ද විකුණන්නට සූදානම් බව දැක්වේ. ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලද යම් ප්‍රතිසංස්කරණයකට සූදානමක් ඇත. 

ලාභ ලබන හෝ සාර්ථකව පවත්වාගෙන යන ආයතන විකිණීම ගැන වෘත්තීය සමිති විරුද්ධය. විරුද්ධ පක්ෂ නැගී සිටී. මෙම ආයතන රටට ඉතා වැදගත් බව පෙන්වා දෙන අතර අහිමි කරගැනීම විශාල දූෂණයක් බව පෙන්වා දෙයි. ආදායමක් ලැබෙන හෝ පුළුල් කළ හැකි ව්‍යාපාරවලට බාහිර පාර්ශ්වයකට උනන්දුවක් ඇත. පලක් නැති දේපළක් මිල දී ගන්නට කිසිවකු කැමැති නැත. ශ්‍රී ලංකන් සමාගමට ආණ්ඩු දෙකක් තුන් වතාවක් ටෙන්ඩර් කැඳවන ලද නමුත් මිලදී ගන්නට කිසිවකු නැත. මෙම ව්‍යාපාර අත්පත් කරගතහොත් ඒවාට නැවත මුදල් යොදවා ව්‍යාපාරවලට අලුත් තාක්ෂණය හඳුන්වා දී ඉදිරියට ගෙන යා හැකිය. දැනට පවතින තත්ත්වය අනුව ව්‍යාපාර පුළුල් කරන්නට හෝ පවත්වාගෙන යාම සඳහා රටට වත්කමක් නැත. 
ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලය, නාගරික සංවර්ධන අධිකාරියේ නේවාසික තැන්, ලෙකෝ කොටස්, ලක්දනව් බලාගාරය, පුත්තලම ගල්අඟුරු බලාගාරය, ඇතැම් වාණිජ බැංකුවල රජය සතු කොටස්, වතු සමාගම්වල කොටස්, හම්බන්තොට ගුවන් තොටුපොළ සහ ගුවන් තොටුපොළ මෙහෙයුම් ඇතුළු යටිතල පහසුකම් යනාදිය පෞද්ගලිකකරණය කරන සැලසුම ආණ්ඩුව සතුව ඇත.

I රාජ්‍ය ආයතන ලබන පාඩු

රජයට අයත් කර්මාන්ත හා ව්‍යාපාර ගණන 527ක් බව දැක්වේ. 2019 වාර්තා අනුව අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවලට කරන ලද රජයේ වියදම ඉක්මවන තරම් පාඩුවක් රාජ්‍ය ආයතනවලින් සිදුවී තිබේ. මතුපිටින් පෙනෙන තත්ත්වය එවැනි නමුත් ආර්ථිකයක ස්වභාවය ගැඹුරින් සලකන පසු මෙම ආයතනවල අලාභ රටට ඇති කරන පීඩනය එයට වඩා විශාලය. අන්තර් ආයතන ණයගැතිභාවයක් ඇත. විදුලිබල මණ්ඩලය තෙල් මිල දී ගැනීමේ බිල තෙල් සංස්ථාවට ගෙවා නැත. විදුලිබල මණ්ඩලය පමණක් නොව ලංගම, දුම්රිය, ශ්‍රීලංකන් ගුවන් සේවාව ඇතුළු ආයතන ගණනාවක් ඛනිජ තෙල් මිල දී ගත් මුදල් තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබේ. ජල සම්පත් මණ්ඩලය මෙම ආයතන දෙකටම ණය ගෙවිය යුතුය. සියලුම රාජ්‍ය ආයතන එකිනෙකාට ණය වී ඇති අතර අලාභ හෙයින් පියැවිය නොහැකි මෙම ණය ගෙවන සේ මහා භාණ්ඩාගාරයෙන් ආයාචනා කරමින් සිටී. මේවායේ ණය ලැබෙන තෙක් බැංකුවලින් ගන්නා ණය අයිරාවලට දිනපතා මිලියන ගණන් පොලිය ගෙවමින් සිටී.  

අධ්‍යයන වාර්තා දක්වන පරිදි රජයේ ආයතනවල වැටුප් හා ශ්‍රම පිරිවැය පෞද්ගලික අංශයට වඩා සියයට හැත්තෑවකින් ඉහළය. පෞද්ගලික අංශයේ දෙදෙනකු කරන සේවයට රජයේ ආයතනයක හතර පස් දෙනකු යෙදවෙන බව දැක්වේ. එම පිරිවැය, බැංකු පොලිය ඇතුළු සියලු නාස්තිකාර වියදම් ජනතාව ගෙවන බිල්පත්වලට ඇතුළත්ය. තෙල් සංස්ථාව ජාතික සම්පතක් නමුත් ලෝකයේ ඕනෑම රටකට වඩා වැඩි මිලක් තෙල්වලට ගෙවන්නට සිදුවී තිබේ. විදුලිය විකුණන්නට එපායැයි බල කරන වෘත්තීය සමිති ඔවුන්ගේ හා ඔවුන් ඇති කරන ලද අලාභවල පොලියද අද ගෙවන විදුලිය බිලට එකතු කර ඇත. විදුලිබල මණ්ඩලය ලාබ උපයන තත්ත්වයට පසුගිය කාර්තුවේදී පත්ව තිබේ. මහජනතාව සියලුම පාඩු දැරීමෙන් පසු ලාබ ඉපයීම ව්‍යාපාරයක ස්වභාවයද රට තුළ ඇති තත්ත්වය අනුව මෙම ඇතුළාන්තය හෙළි නොකෙරේ. පෞද්ගලිකකරණය කළහොත් රුකියා අහිමිවන අතර රටේ සම්පත් විකුණන බවක් අඟවා මහත් භීතියක් ඇති කරවයි. පෞද්ගලිකකරණය වේගයෙන් ක්‍රියාවට නැංවිය යුතුව තිබේ. ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම යන මිත්‍යාවෙන් ගැලවිය යුතු අතර ජනතා හඬ මතු කරගැනීමට අවශ්‍යය. ආයතන පැවරීමෙන් පසු ලැබෙන ආදායම, ඒවා පෞද්ගලික අංශයට පැවරීමෙන් පසු අයකරගත හැකි බදු හා අනෙක් ආදායම් මහජන සුබසාධනය සඳහා වැය කළ හැකි වේ. 

I සාරා කන්දෙගොඩ

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments