Sunday, September 8, 2024
HomeLocal Newsකයිවාරුකාරයින්ගේ දරුවන් ඉගෙනගන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වල!

කයිවාරුකාරයින්ගේ දරුවන් ඉගෙනගන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වල!

මහ බැංකුව හොරා කොපු, මහ බැංකුව විනාශ කළ බැඳුම්කර ගනුදෙනුවේ මහමොළකරුවන් පලවා හැර පිරිසුදු රාජ්‍ය පාලනයක් වෙනුවෙන් සමගි ජනබලවේගය නව ගමනක් ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකුව විනාශ කළ පුද්ගලයකු පසුගියදා තමා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස ඩුප්ලිකේටිකාරයන් යැයි අපහාස කළත් සමගි ජන බලවේගයේ ගමන වන්නේ 225ට හෝ ජනාධිපතිවරයාට නොව රටේ ලක්ෂ 220ට ප්‍රමුඛතාව දීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුත්තලම හලාවත ආරච්චිකට්ටුව බත්තලු ඔය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

මැතිවරණ ජයග්‍රහණය යනු රෝසමල් යහනාවක් නොව කටු පඳුරක් බවත්, මැතිවරණ ජයග්‍රහණයෙන් බිහිවන්නේ තමන්ට පෙර රට, පවුලට පෙර රට, වරදාන හා වරප්‍රසාද වලට පෙර රට, විදේශ සංචාර වලට පෙර රට බවත් විපක්ෂනායකවරයා පැවසීය.

බැඳුම්කර හොරු සමග ජන බල වේගයෙන් එළවා දැමුවේ ජනතාව අපේක්ෂා කරන නිර්මල, පිරිසුදු, පවිත්‍ර පාලනයක් රටේ ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරීමට බැවින් කයියනායකලාගේ කටකතා වලට නොරැවටෙන ලෙසත් ප්‍රේමදාස මහතා කීවේය.

පරිගණකයක් නොමැති පාසලකට පරිගණකයක් ලබාදීම වරදක් ලෙස දකින්නේ කොහොමද කියා ගැටලුවක් පවතින බවත්, මේවා වරදක් ලෙස දකින්නේ සෝබන කතා කියන, බොරුවට සමාජ සාධාරණත්වය ගැන පුරසාරම් දොඩවන, ජනතාවාදී ජනහිතකාමී යැයි කියන කයිවාරුකාරයන් බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔවුන් කැමැති තමන්ගේ දරුවන් පමණක් ඉහළ තැන්වල සිටිනු දැකීමට බවත් කයිවාරුකාරයන්ගේ දරුවන් පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම ජාත්‍යන්තර විශ්ව විද්‍යා වලට යන බවත් විපක්ෂ නායකවරයා කීය.

තමා සුහුරු පන්ති කාමර උපකරණ, බස් රථ පාසල්වලට ලබා දෙන්නේ සම අධ්‍යාපන අවස්ථාවක් රටපුරා ඇති කිරීමට වුවත් සමාජවාදී අන්ත කොමියුනිස්ට්වාදීන් මෙම බෙදිල්ල නරකයි කියා විවිධ අන්වර්ථ නාම පටබඳිමින් අපහාස කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

තමා කෝවිඩ්, මුව ආවරණ, කොරෝනා එන්නත්, කාන්තා සනීපාරක්ෂක පහසුකම් වැනි බොහෝ දේවල් ගැන කියූ දේවල් අද වන විට සත්‍යයක් වී ඇති බවත් සමහර අය විද්‍යාව පසෙකලා විජ්ජාවෙන් රට රවට්ටන සුත්තර පවා ක්‍රියාත්මක කරන රටක අප සුහුරු විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

– නිමල කොඩිතුවක්කු

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments