මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් සහ එම සමාගමේ ශ්‍රී ලංකාවේ බලයලත් හවුල්කරු (franchise) වන ඉන්ටර්නැෂනල් රෙස්ටොරන්ට් සිස්ටම්ස් (පෞද්ගලික) සමාගම, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නෛතික විසඳුමකින් පසු ඔවුන්ගේ ව්‍යාපාරික සබඳතාව අවසන් කර ඇතැයි එම සමාගම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සනීපාරක්ෂාව පිළිබඳ මතු වූ ගැටලු හේතුවෙන් 2024 මාර්තු මාසයේදී මැක්ඩොනල්ඩ්ස් සමාගමේ මෙහෙයුම් කටයුතු අත්හිටුවන ලද අතර පසුගිය සතියේ සිය ගිවිසුම විධිමත් ලෙස අවසන් කළ බැව් එම සමාගම් අනාවරණ කර ඇත.
මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන්හි බලයලත් ශ්‍රී ලංකා හවුල්කරු වූයේ අබාන්ස් සමූහ ව්‍යාපාරයට අයත් ඉන්ටර්නැෂනල් රෙස්ටොරන්ට් සිස්ටම්ස් සමාගමය. එම සමාගම යටතේ පවත්වාගෙන ගිය ඇතැම් අලෙවිසල්හි මතු වූ සනීපාරක්ෂාව පිළිබඳ ගැටලු මත මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව පුරා මැක්ඩොනල්ඩ්ස් වෙළෙඳසල් 12ක් වසා දැමීමට පියවර ගැනිණි. මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් සහ ඉන්ටර්නැෂනල් රෙස්ටොරන්ට් සිස්ටම්ස් අතර ශ්‍රී ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ ගිවිසුම අවසන් කෙරුණේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් 2024 මාර්තු මාසයේ අබාන්ස් සමාගමට ඔවුන්ගේ ව්‍යාපාරික අලෙවිකරණ සහ ප්‍රවර්ධන අරමුණු සඳහා මැක්ඩොනල්ඩ්ස් යන නාමය හෝ මැක්ඩොනල්ඩ්ස් යන නමට සමාන ඕනෑම ආකාරයකින් හෝ වෙනත් නමක් භාවිත කිරීම වළක්වාලමින් නිකුත් කරන වාරණ නියෝගය අනුවය. ඒ අනුව සිය ගිවිසුම විධිමත් ලෙස අවසන් කිරීමට දෙපාර්ශ්වය කටයතු කළහ.
මැක්ඩොනල්ඩ්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සනත් විජේවර්ධන රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ “ප්‍රමිතිය පිළිබඳ ගැටලු හේතුවෙන් බලයලත් සමාගම සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමට මව් සමාගම තීරණය කළ බවටය. “මින් ඉදිරියට මැක්ඩොනල්ඩ්ස් සමාගම ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන්නේ නැත. එහෙත් අනාගතයේ ඔවුන් බලයලත් නව හවුල්කරුවකු සමඟ යළි ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කිරීමට ඉඩ තිබේ.” යනුවෙනි. මැක්ඩොනල්ඩ්ස් අලෙවිසල්හි සනීපාරක්ෂාව සහ ආරක්ෂක ප්රමිතීන් පිළිබඳ පාරිභෝගික පැමිණිලි රැසක් ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට මැක්ඩොනල්ඩ්ස් සමාගම පියවර ගෙන තිබිණි. ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න අයුරින් අවන්හල් පවත්වාගෙන යන ලෙසට දේශීය හවුල්කරුට අවස්ථා ගණනකදීම අවවාද කර තිබූ නමුදු ඔවුන් ඒවාට අවනත නොවූ බවට වාර්තා විය.
අබාන්ස් සමාගම මැක්ඩොනල්ඩ්ස් සමාගම සමඟ මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යාම සඳහා ගිවිසුම්ගත වූයේ 1997 අගෝස්තු 21 වැනි දිනය. 1998 සිට ව්‍යාපාරය ආරම්භ කෙරුණු අතර 2024 මාර්තු මාසය දක්වා එය මෙරට ක්‍රියාත්මක විය. ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් අලෙවිසල් ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර සනීපාරක්ෂක ප්රමිතීන් සපුරාලීමට මෙරට සමාගම අපොහොසත් වීම සම්බන්ධයෙන් විවේචනයට ලක්විය. 2024 මාර්තු මාසයේ දී අලෙවිසල් ජාලය පවත්වාගෙන යාම සඳහා පැවැති ගිවිසුම අවසන් කිරීමට මව් සමාගම පියවර ගත්තේය. ඒ අනුව අලෙවිසල් 12 ක් වහා ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පියවර ගැනිණි.
මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය ලොව විශාලතම ක්ෂණික ආහාර අවන්හල් ජාලය වන අතර, මේ වන විට උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ ඕෂෙනියා මහාද්වීපයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක අලෙවිසල් 40,000 කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යයි. දෛනිකව මිලියන 69 කට අධික පාරිභෝගිකයන් පිරිසකට සේවය සපයන එම අලෙවිසල් හැම්බර්ගර්, චීස්බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස් සඳහා වඩාත් ප්‍රසිද්ධය. ඊට අමතරව ඔවුන්ගේ මෙනුවේ කුකුළු මස්, මාළු, පළතුරු සහ සලාද වැනි වෙනත් ආහාර වර්ග ද ඇතුළත්ය. මැක්ඩොනල්ඩ්ස්හි වැඩියෙන්ම අලෙවි වන බලපත්‍රලාභී ආහාරය වන්නේ ෆ්‍රෙන්ච් ෆ්රයිස් හෙවත් බදින ලද අර්තාපල් තීරුය. දෙවැනුවට වැඩිම අලෙවියක් ඇත්තේ බිග් මැක් සඳහාය. මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් ආයතනයට බලයලත් හවුල්කරුවන් විසින් ගෙවනු ලබන කුලී, කර්තෘභාග සහ ගාස්තු මෙන්ම සමාගමට අයත් අවන්හල්හි ආහාර අලෙවියෙන් විශාල ආදායමක් හිමි වේ. එම ජාලය තුළ සේවකයන් මිලියන 1.7 ක් සිටින අතර එය දෙවැනි වන්නේ සේවකයන් මිලියන 2.3 ක් සිටින වෝල්මාර්ට් සමාගමට පමණි. මැක්ඩොනල්ඩ්ස් ලොව දෙවැනි විශාලතම පෞද්ගලික සේවායෝජකයා වේ.
රිචඩ් සහ මොරිස් මැක්ඩොනල්ඩ් සොහොයුරන් විසින් 1938 දී කැලිෆෝනියාවේ සැන් බර්නාඩිනෝහි නෝත් ඊ වීදියේ පළමු මැක්ඩොනල්ඩ්ස් අවන්හල විවෘත කෙරිණි. 1940 දී ඔවුන් කඩිනම් සේවා ක්‍රමයක් හඳුන්වා දුන් අතර එය නූතන ක්ෂණික ආහාර ක්‍රියාවලියේ ආරම්භය විය. මැක්ඩොනල්ඩ්ස් ආයතනයේ මුල්ම ලාංඡනය වූයේ ස්පීඩි නමින් හැඳින්වුණු හැම්බර්ගර් හිසක් සහිත සූපවේදියෙකි. 1963 වසරේ දරුවන් සඳහා මැක්ඩොනල්ඩ් කවටයා ලාංඡනය හඳුන්වා දුන්නේ රොනල්ඩ් මැක්ඩොනල්ඩ් විසිනි.
එහි වත්මන් ලාංඡනය වන “M” ලාංඡනය භාවිතයට ගැනුණේ 1968 සිටය. 1961 මැයි 4 වැනි දින, “Drive-In Restaurant Services” හෙවත් වාහනයේ සිටම ආහාර පාන ඇනවුම් කළ හැකි සේවාවක් හඳුන්වා දුන් අතර එය අදට ද ක්‍රියාත්මකය.
ගොවීන්, සැපයුම්කරුවන්, බලයලත් අලෙවිකරුවන්ගෙන් සමන්විත සන්නාමයක් සහිත මැක්ඩොනල්ඩ්ස් සමාගමේ අරමුණ ප්‍රජාව පෝෂණය කිරීම යැයි ඔවුහු පවසති. තම ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංශ කෙරෙහි දැඩි අවධානය යොමු කරන අතර වෙළෙඳ නාමය කීර්තිමත් ලෙස පවත්වාගෙන යෑම තම අරමුණ බවද ඔවුහු සඳහන් කරති. තම ගුණාත්මක ආහාර සැපයීම තුළින් සේවාදායකයන්ට උපරිම සේවාව සැපයීම, කාර්ය මණ්ඩලයට මුල්තැන දීම, අපද්‍රව්‍ය බලපෑම අවම කිරීම සහ ලොව පුරා රැකියා අවස්ථා පුළුල් කිරීම හා සියලු මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මක වර්ධනයත් ඇති කිරීම තම සමාගමේ අරමුණු බවද ඔවුන්ගේ වෙබ් අඩවියේ දැක්වේ.
මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය සංචාරකයන්ගේ විශ්වාසය දිනූ වෙළෙඳ නාමයක් වීම නිසා මෙවැනි සන්නාම සහිත අවන්හල් ශ්‍රී ලංකාවේ පැවතීම රටේ සංචාරක ව්‍යාපාරයට ද වැදගත්කමක් එක්කර තිබිණි.
- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා