Friday, October 18, 2024
HomeLocal Newsලෝක පූජිත කමිඳු මෙන්ඩිස්!

ලෝක පූජිත කමිඳු මෙන්ඩිස්!

කමිඳු මෙන්ඩිස් ‘දෑතින්ම’ පන්දු යැවීමේ හැකියාවෙන් යුක්ත වීම නිසා ඔහු ඇතුළත්ව සිටින කණ්ඩායම ජාතික කණ්ඩායමක් ද එසේ නැත්නම් ලීග් කණ්ඩායමක් වුවත් සුවිශේෂී වාසියක් හිමිවන්නේ යැයි අමුතුවෙන් කිව යුතු නැත.

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා අවසන් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය ක්‍රීඩකයෙක් බවට පත් විය.කමිඳු එම තරගාවලියේදී ලෝක වාර්තා කිහිපයක් පිහිටුවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රධාන සාධකය බවට පත් විය. කමිඳු දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී රැස්කළ ලකුණු 182 ලෝක වාර්තා කිහිපයකට දොරටු විවෘත කළේය.

කමිඳු මෙන්ඩිස් එම ඉනිමත් සමඟ ලෝක ටෙස්ට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකදී ලකුණු 1,000 සම්පූර්ණ කළ ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු විය. කමිඳු එහිදී වසර 99 ක පැරණි වාර්තාව බිඳ දැමීම කැපී පෙනුණි. ඔස්ට්‍රේලියානු ක්‍රීඩක හර්බට් සට්ච්ක්ලිෆ් 1925 වසරේ තරග 9 කදී ලකුණු 1,000 සම්පූර්ණ කරමින් පැරණි වාර්තාවට හිමිකම් කීය.

කමිඳු එහිදී ලෝක ක්‍රිකට් වංශ කතාවේ පිතිකරුවකු අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1,000 රැස්කළ වාර්තාවේ තෙවැනි ස්ථානයට පත් විය. මෙය කමිඳුගේ 13 වැනි ටෙස්ට් ඉනිම වන අතර ඒ අනුව ඔහු ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අසහාය පිතිකරු ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමඟ සම තැනට පැමිණීමට සමත් විය.

කමිඳු එම ඉනිමේදී අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමඟ තවත් නව ලෝක වාර්තාවක් සටහන් විය.

කමිඳු එම අර්ධ ශතකයත් සමඟ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග අටේදී ලකුණු 50 හෝ ඊට වැඩියෙන් ලකුණු රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ද පත් විය.

ගාල්ලේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව 2022 වසරේ ජූලි මස ටෙස්ට් හිස්වැසුම පැළඳි කමිඳුගේ ටෙස්ට් ඉනිම 13 ලකුණු 61, 102, 104, නොදැවී 92, 9, 12, 113, 74, 4, 64, 114, 13 සහ නොදැවී 182 ලෙස සටහන් විය. ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් ජාතික කණ්ඩායමට දායාද කළ 26 හැවිරිදි කමිඳු මෙන්ඩිස් ටෙස්ට් තරග 8 කදී ලකුණු 1,004 ක් රැස්කර සිටින අතර එහි ඉනිමක සාමාන්‍ය 91.27 කි. මෙම ලකුණු දහසට ශතක 5 ක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් වේ. ඔහු පිතිකරු ලැයිස්තුවේ ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීමේ හැකියාවෙන් යුත් පිතිකරුවෙකි. දකුණතින් සහ වමතින් දඟ පන්දු යැවීමේ සුවිශේෂී හැකියාවක් තිබීම නිසා කමිඳුට අමතර වටිනාකමක් ආරෝපණය වී තිබේ. ඒ හේතුවෙන් කමිඳු ටෙස්ට්, එක්දින සහ විසස්යි20 යන තරග රටාවන් තුනටම ගැලපෙන ක්‍රීඩකයෙකි. කමිඳු අහසින් පාත්වෙමින් මෙම දස්කම් දක්වනවා යැයි ඇතැමුන් සිතිය හැකිය. කෙසේ වෙතත් එය එසේ නොවේ. ඔහු පිළිබඳව ඔහුගේ පාසල් පුහුණුකරු වන තරංග ධම්මික මහතා මෙසේ පැවසීය.

“කමිඳු ඇත්තෙන්ම කිව්වොත් පාසල් කාලයේ දක්ෂතම පිතිකරුවෙක්. ඔහු විශේෂයෙන්ම පීඩනය යටතේ ලකුණු රැස් කරන්න උපන් හපනෙක්. ඔහුගේ පන්දු යැවීමේ හැකියාව ප්‍රසාද දීමනාවක් පමණයි. දෑතින්ම පන්දු යැවීමට ඇති හැකියාව රටේ වාසනාවට ලැබුණු දෙයක්.

කමිඳු ජාතික කණ්ඩායම නියෝජනය කරන බව අපි දැනගෙන හිටියා. ඔහු කවදා කණ්ඩායමට එනවද කියන එක පමණයි නොදැන හිටියේ. ඔහුගේ සාර්ථකත්වය ගැන විශාල සතුටක් තියෙනවා.” යැයි ගාල්ල රිච්මන්ඩ් විදුහලේ හිටපු පුහුණුකරු, වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරුවෙක් වන තරංග ධම්මික මහතා පැවසීය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සැප්තැම්බර් මස 6 වැනිදා සිට 29 දක්වා දින 23 ක් තුළ එංගලන්තයට එරෙහිව තරගයක් සහ නවසීලන්තයට එරෙහිව තරග දෙකක් ජය ලබා පිට පිටම ටෙස්ට් තරග තුනක් ජය ලබා සිටියි. එම තරග තුනම ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වීම නිසා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 55.56 ක් හිමිකර ගනිමින් මේ වන විට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

  • සටහන: යොහාන් භාසුර

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments