නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස් ඉකුත් බ්‍රහස්පතින්දා බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දුන්නේය. රොයිටර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී යුනුස් අවධාරණය කළේ ‘අපගේ නව ජයග්‍රහණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම’ සහ අත්වැරදීම් නිසා එය ගිලිහී යාමට ඉඩ නොදීමේ අවශ්‍යතාවයයි. හිටපු අගමැතිනි ඛලීඩා සියා නිදහස් වීමෙන් පසු ‘සියලු ආගම්වලට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී බංග්ලාදේශයක්’ අවශ්‍යව ඇති බවට ද ප්‍රකාශයක් කළාය.
වසර 15ක කාලයක් රට සමෘද්ධිය කරා ගෙන ගිය අගමැතිනි ෂෙයික් හසීනා ස්වයං පිටුවහලකට ලක්ව රටින් බැහැරවීමත් සමඟ මාස ගණනක් රට තුළ පැවැති විරෝධතාව යම් සමනයකට පත්ව, පසුව දැඩි හින්දු විරෝධයක් ලෙස වර්ධනය වෙද්දී වඩාත් සුපරීක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක වූ එරට හමුදා ප්‍රධානී ජෙනරාල් වේකර්-උස්-සාමාන් ප්‍රමුඛ හමුදාව නව ‘Z-Gen’ පරම්පරාවේ ඉල්ලීමට කන් දෙමින් නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස් අන්තර්වාර ප්‍රධානියා ලෙස පත් කර රටේ සාමය ගොඩනැගීමට කටයුතු කළේය.
අගමැතිනි ෂෙයික් හසීනා රටින් බැහැරවීමත් සමඟ ඇගේ අවාමි ලීග පක්ෂයේ ක්‍රියාකාරීන්ට මෙන්ම හින්දු සුළුතරයට ද එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාකාරිත්වයක් රට තුළ මතුවිණි. ඒ අනුව අවාමි ලීගයේ සාමාජිකයන්ගේ, හිතවතුන්ගේ සහ ඔවුන්ගේ ඥාතින්ගේ යැයි හඳුනාගත හැකි අවම වශයෙන් සිරුරු 20 ක් පමණ අඟහරුවාදා වන විට රට තුළින් සොයා ගන්නා ලද අතර තවත් 100කට ආසන්න පිරිසක් ඝාතනය වී තිබුණි. සමස්ත අරගල කාලය තුළ මිය ගිය ගණන 400ට වැඩිය. සිරගතව සිටි දේශපාලන සිරකරුවන් 200කට වැඩි පිරිසක් ද නිදහස්ව සිටිති. මේ පෙරැළිය සිදුවූයේ පාකිස්ථාන හිතවාදී ඛලිඩා සියා නැවත නිදහස්ව පැමිණීමත්, රටේ දැඩි ආගමිකවාදී කණ්ඩායම් නිදැල්ලේ බලය අතට ගැනීමත් සමඟය. පිළිතුර වූයේ කාටත් පිළිගත හැකි අන්තර්වාර පාලනයකි.
අර්බුදකාරී තත්ත්වයෙන් මිදී මැතිවරණයකට මග පෑදීම සඳහා අන්තර්වාර ආණ්ඩුවේ ඉතිරි පිරිස කඩිනමින් පත් කර අවසන් කළ යුතු බව ජනාධිපති ෂහාබුදීන් පැවසීය. ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වන නහිඩ් ඉස්ලාම් පැවසුවේ බදාදා අග වන විට සාමාජිකයන් තෝරාගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
බංග්ලාදේශයේ පවතින දේශපාලන අර්බුදය මධ්‍යයේ, ඉන්දියාව සිය මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ කොන්සල් කාර්යාලවලින් අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලය ආපසු කැඳවා තිබේ. ඩකා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලය සහ පවුල් ආපසු පැමිණීම වාණිජ ගුවන් ගමන් මාර්ගයෙන් ස්වේච්ඡා පදනමින් සිදු වී ඇති බව ආරංචි මාර්ග පවසයි. සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයෝ මහ කොමසාරිස් කාර්යාලයේ රැඳී සිටිති. මහ කොමසාරිස් කාර්යාලය ක්‍රියාකාරීව පවතින බව ආරංචි මාර්ග පවසයි.
අසල්වැසි රටේ නෙරපා හරින ලද අගමැතිනි ෂෙයික් හසීනාට සත්කාරකත්වය ලබාදීමට නවදිල්ලිය සැලසුම් සකස් කර තිබුණි. හසීනා ඩකා නගරයෙන් පලා යාමෙන් පසු සඳුදා ඉන්දියාවට ගොඩබැසි අතර එක්සත් රාජධානියට යාමට තිබූ ඇයගේ සැලසුම් ‘තාක්ෂණික මාර්ග බාධකයකට’ මුහුණ දුන් බැවින් ‘කාලයක්’ ඉන්දියාවේ රැඳී සිටීමට ඉඩ ඇත.
දලදඬු රැකියා කෝටා තීන්දුවකට පසුව ඇතිවූ ශිෂ්‍ය අරගලයක් මගින් රටින් පලා යාමට බල කෙරුණු ෂෙයික් හසීනා (උපත 1947 සැප්තැම්බර් 28) බංග්ලාදේශයේ පරිණත දේශපාලන චරිතයකි. ඇය 1996 ජූනි සිට 2001 ජූලි දක්වා සහ නැවත 2009 ජනවාරි සිට 2024 අගෝස්තු දක්වා බංග්ලාදේශයේ දහවැනි සහ දොළොස්වැනි අගමැති ලෙස සේවය කළාය. ඇය බංග්ලාදේශයේ ආරම්භක පියා සහ පළමු ජනාධිපතිවරයා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි. වසර 20 කට වැඩි කාලයක් ඒකාබද්ධව සේවය කර ඇති ඇය බංග්ලාදේශ ඉතිහාසයේ දීර්ඝතම කලක් සේවය කළ අගමැතිනියයි. 2018 වසරේ ටයිම් සඟරාව තෝරාගත් ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනා අතරට හසීනා ද පත්වූ අතර, 2015, 2018 සහ 2022 දී Forbes විසින් ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගෙන් කෙනකු ලෙස ලැයිස්තුගත කර ඇත. ඇය ලොව දීර්ඝතම කාලයක් රැජැයූ කාන්තා රාජ්‍ය නායිකාවයි.
2024 මැතිවරණයෙන් ඇය පස්වැනි වාරයට ද ජයග්‍රහණය කළ අතර, එය වංචනික යැයි පුළුල් ලෙස විවේචනයට ලක් විය. හසීනා ඉන්දියාවට ඉතා සමීප බවට විවේචනයට ලක්ව ඇත. ඇය යටතේ බංග්ලාදේශය ප්‍රජාතන්ත්‍රවාදී පසුබෑමකට ලක්වූ බව දැන් පුළුල් ලෙස සැලකේ. හියුමන් රයිට්ස් වොච් විසින් ඇයගේ ආණ්ඩුව යටතේ පුළුල්ව පැතිරුණු බලහත්කාර අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන ලේඛනගත කර තිබේ. ඇයගේ අදහස්වලට අභියෝග කිරීම නිසා බොහෝ දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව හා අධිකරණමය වශයෙන් දඬුවමට ලක් කරනු ලැබීය.
සිය දේශපාලන දිවිය තුළදී, ෂෙයික් හසීනා ඝාතන උත්සාහයන් 19 කින් දිවි ගලවාගෙන ඇත. ඉතා මෑත 2004 ග්‍රෙනේඩ් ප්‍රහාරයේ දී ඇතිවූ තුවාල හේතුවෙන් ඇය ශ්‍රවණාබාධයකට ලක්විණි. ෂෙයික් හසීනා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සහ මුජීබ් පවුලේ ආසන්නතම සාමාජිකයන්ට ඉතා ඉහළ ආරක්ෂක අවදානමක් ඇති අතර, 2015 දී ඇයට සහ ඇගේ දරුවන්ට විශේෂ ආරක්ෂක බලකාය හරහා බංග්ලාදේශ රජය විසින් ජීවිත කාලය පුරාම ආරක්ෂාව අනුමත කරන ලදී. රජය ඇයට සහ ඇගේ පවුලේ අයට ජීවිත කාලය සඳහාම නොමිලේ මූලික පහසුකම් ද ලබා දී තිබේ.
ඇය රට තුළ සිය මුල් පාලන සමයේ කැපීපෙනෙන දියුණුවකට මග පෙන්වූ අතර යුනෙස්කෝ සාම ත්‍යාගයට පවා හිමිකම් කීවාය. කොවිඩ් 19 සමයේ ලෝකයේ සෙසු රටවල් ආර්ථිකව පල්ලම් බසිද්දී ඇය සිය රට සහ එහි ඇඟලුම් කර්මාන්තය ඔසවා තැබූ අතර රට වෙනත් කලාපීය රටවලට ණය ආධාර දෙන තරමේ සශ්‍රිකත්වයකට ද පත් කළාය. ඒකාධිපති තීන්දු සහ දළදඬු පිළිවෙත් පසුව ඇගේ බලය ප්‍රශ්න කරන තැනට පත් කර තිබුණි. එය ලේ හලන අරගලයක් දක්වා විහිද ගියේය. දැන් රට තාවකාලිව සන්සුන්ය. එසේ වුවද හසීනාගේ පුත්‍රයා කියා තිබුණේ ඇය යළි කිසි දිනෙක බලයට පැමිණීමට හෝ බංග්ලාදේශය වෙත පැමිණීමට හෝ කටයුතු නොකරනු ඇති බවය.
• සුගත් පී. කුලතුංග ආරච්චි