Thursday, September 19, 2024
HomeLocal News"කුසගින්න නිර්පාක්ශිකයි" කාන්තාවන් අමතමින් ජනපති කී කතාව!

“කුසගින්න නිර්පාක්ශිකයි” කාන්තාවන් අමතමින් ජනපති කී කතාව!

කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ජනාදිපතිවරයා ඉල්ලීමක් කළා.

කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (09) පෙරවරුවේ “කාන්තා අපේ බලය” යන මැයෙන් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි සහ දරුවන් පාසලට යවාගත නොහැකිව ලත වූ මෙරට මව්වරුන් විඳී පීඩාව කිසිවෙකු අමතක නොකළ යුතු බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.

අද දේශප්‍රේමය සහ ජනතාවගේ දුක පිළිබඳ වේදිකාවල කථා කරන නායකයන් එදා අභියෝගය හමුවේ පළා ගිය අන්දම මේ රටේ ජනතාවට අමතක නොවනු ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ දුෂ්කර ආර්ථික තත්ත්වයක වුවද මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනාදීම තමා කිසිසේත් අතපසු නොකළ බවයි.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත මේ වන විටත් අනුමත කර තිබෙන අතර කාන්තාවන්ට පිරිමින් හා සමාන අයිතිවාසිකම් හිමිකර දීමේ නීතිමය පසුබිම සැකසීම ඇතුළු කාන්තා අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් පියවර රැසක් මේ වන විට ගෙන තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස මම ඉදිරිපත් වන්නේ ඇයි කියා ඇතැම් අය මගෙන් ප්‍රශ්න කරනවා.. මොකද කුසගින්න නිර්පාක්ෂිකයි.. කුමන පක්ෂයකට අයත් වුවත් කුසගින්න දැනෙනවා.. කුස පිරවීම නිර්පාක්ෂිකයි.. ඒ නිසා අප දේශපාලන පක්ෂ පාට පසෙකට දමා රටේ ජනතාවගේ කුස පිරවීමට එක් විය යුතුයි.. මේ රටේ ජනතාව විඳි දුක පිළිබඳ මට හොද අවබෝධයක් තිබෙනවා.. විදුලිය නොමැතිව, ඉන්ධන හා ආහාර නොමැතිව දරුවන්ව පාසලට යවා ගත නොහැකිව එදා ඔබ සියලුදෙනා විශාල දුෂ්කරතාවයකට මුහුණ දුන්නා.. නැවත අප මේ දුක විඳිය යුතුද, ඒ නිසා අප සියලුදෙනා එකට එක්ව මෙම තත්ත්වය වළක්වාගත යුතුයි.. මම ජනාධිපති ධූරයට පත්වුයේ අනෙක් අය එම වගකීම භාර නොගෙන පැන ගිය නිසයි.. මම ජනාධිපති ධූරය භාර ගැනිමෙන් පසු “අප සියලුදෙනා එක්ව ජනතාව මෙම දුෂ්කරතාවන්ගේ මුදා ගැනීමට කටයුතු කරමු” කියා සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙන්ම අනුර දිසානායක මහතාගෙන් ද ඉල්ලීමක් කළා.. නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා.. ඔවුන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට අපට සහාය ලබා දුන්නේ නැහැ.. එහිදී කාන්තාවන් තුන්දෙනෙක් මට සහාය ලබා දුන්නා.. ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා එම කාන්තාවන් තිදෙනායි.. දේශප්‍රේමය ගැන කථා කරමින්, ජනතාව විඳින දුක තමන් දන්නවා කියන අය එදා පැනලා ගියා.. විදේශ රටවල සිටින කාන්තාවන් තිදෙනෙක් මට රට ඉදිරියට ගෙන යාමට උදව් කළා.. මේ තිදෙනාගේ උපකාර නොලැබුණානම් අද අපට මෙම තත්ත්වයට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.. මෙම අසීරු ගමනේදි වුවද මම මේ රටේ කාන්තාවන් අමතක කළේ නැහැ.. සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවද සියලු කාන්තාවන්ට මෙම අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් අප මේ වන විට පළමු නීතිය ගෙනවිත් තිබෙනවා..”

දිවයින පුරා ප්‍රධාන කාන්තා සංවිධානවල සහ ශාඛා සමිති සභාපතිවරියන් සහ නියෝජිතවරියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.

ප්‍රකෘතිමත් වෙමින් පවතින මෙරට ආර්ථිකය ස්ථාවර කරමින් දියුණුව කරා ගෙන යාමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට තම පූර්ණ සහාය පළ කරන බවට මෙහිදී කාන්තා සංවිධාන නියෝජිතවරියන් ජනපති හමුවේ සපථ වුණා.

ඡායාරූප👇🏻

Monara

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments