Friday, September 20, 2024
HomeLocal Newsස්මාර්ට් ෆෝන් එකෙන් එන දියවැඩියාව!

ස්මාර්ට් ෆෝන් එකෙන් එන දියවැඩියාව!

දකුණු පළාතේ පාසල් ළමුන් හාරසිය දෙනකු යොදාගෙන සිදුකළ සමීක්ෂණයකින් ඉතා බරපතළ කාරණාවක් හෙළි වී තිබේ. ඒ අවුරුදු දහයේ වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 60% ක් අධික ලෙස ජංගම දුරකථනවලට ඇබ්බැහි වී ඇති බවයි. මේ සමීක්ෂණය පෙන්වා දෙන වඩාත් බරපතළ කාරණාව වී ඇත්තේ මෙම දරුවන් දැන් දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමටද ලක්ව සිටීම බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පෙන්වා දී තිබේ.

මෙම දරුවන්ගෙන් බොහෝ දෙනකුට රාත්‍රියට නිසි ලෙස නින්ද නොයන බවත් ඔවුන් සැමවිටම කනස්සල්ලෙන් සිටින බවටත් තොරතුරු හෙළි වී තිබේ. මෙම දරුවන් නිසි ලෙස අධ්‍යාපන කටයුතු සිදු නොකරන බවද එමෙන්ම ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන අතර මෙම තත්ත්වය මත ඔවුන් පාලනය කිරීමටද දෙමාපියන්ට නොහැකි වී ඇති බවද සමීක්ෂණය පෙන්වා දෙන බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. එසේම මෙසේ ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ට දියවැඩියා රෝගී තත්ත්වය ඇති බවට හඳුනාගෙන ඇත.

සාමාන්‍යයෙන් දුව පැන ඇවිදින සහ එළිමහනේ සෙල්ලම් කිරීමට කැමති දරුවන් තුළ ඒ නිසාම සීනි ඇතිවීමේ අවදානම මතුව තිබුණේ නැත. නමුත් ජංගම දුරකථනයට ගාල්වීම නිසා එළිමහනට නිසි වාතාශ්‍රයකට යෑමේ අවස්ථාව අහිමිවීමත් සමූහ ක්‍රීඩා දුවපැන ඇවීදීම් වෙනුවට එක තැන ගාල් වී සිදුකරන වීඩියො ක්‍රීඩාවන්ට ඇබ්බැහිවීමෙන්  ඔවුන්ගේ ශරීරය නිසි ලෙස ක්‍රියාකාරී නොවීමේ තත්ත්වය මත දියවැඩියාව වැළඳෙන බවටද හඳුනාගෙන තිබේ.

අත්‍යවශ්‍යම නම් ඕනෑම දරුවකුට දිනකට පැයකට වඩා අඩු කාලයක් ජංගම දුරකථන භාවිත කිරීමට ලබා දෙන ලෙස මෙම සමීක්ෂක වෛද්‍යවරු මව්පියන්ගෙන් ඉල්ලා සිටිති.

ඔන්ලයින් අධ්‍යාපනයේ යෙදීමේදී වැඩි වේලාවක් එකම තැනක එකම ඉරියව්වකින් කාලය ගත කිරීම, පෝෂ්‍යදායී ආහාර ගැනීම මගහැරීම සහ ක්ෂණික ආහාරපාන භාවිතය වැඩිවීම ආදී හේතු නිසා අධික ස්ථූලතාවට පත්වන දරුවන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩි බවත් දැනටමත් දියවැඩියා රෝගයට ගොදුරු වූ වයස අවුරුදු 14 ට අඩු දරුවන් 100 කට අධික පිරිසක් වසරකට ප්‍රතිකාර සඳහා ළමා රෝහලට පැමිණෙන බවත් බොරුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙයි. එසේම ගතවූ වසර පහක කාලය තුළදී දියවැඩියා රෝගයට ගොදුරු වූ දරුවන් 500කට අධික පිරිසක් වාර්තා වන බවද ඔහු කියයි.

එක තැනම රඳවා තැබෙන ජංගම දුරකථන භාවිතය මෙන්ම අධික ලෙස ට්‍රාන්ස්‌ මේදය, සීනි, ලුණු සහ වස විසවලින් අනූන ෆ්‍රයිඩ් රයිස්‌, ක්‌ෂණික නූඩ්ල්ස්‌, බිස්‌කට්‌, අයිස්‌ක්‍රීම්, කේක්‌, පැටිස්‌, පැණි බීම, ටොෆි, චොක්ලට්‌ ආදී නරක විපාක ගෙන දෙන කෑම බීම වලින් දරුවන් සංතෘප්ත කිරීම මේ ළමා දියවැඩියාවට ප්‍රබල හේතු කාරකයකි.

මෙලෙස ලැබෙන නරක මේද වර්ග තැන්පත් වීමෙන් රුධිර නාළ පටුවීම නිසා ඇතිවන සංකූලතා තත්ත්වය ඇතරොමා (Atheroma) යනුවෙන් හඳුන්වයි. මෙය සාමාන්‍යයෙන් මිනිසුන් වයසට යන විට ඇතිවන තත්ත්වයකි. හදිසි අනතුරුවලට ලක්‌ව මිය යන ඇතැම් ළමුන් තුළ ද දැන් දැන් ක්‌ෂුද්‍ර ඇතරොමා තත්ත්වයන් දකින්නට පිළිවන් වන බව පශ්චාත් මරණ පරීක්‌ෂණ සිදු කරන වෛද්‍යවරු පවසති. මේ අනුව හදිසි අනතුරකට ලක්‌ව මිය නොගියා නම්, ඇතැම්විට එම දරුවා වයස අවුරුදු දාසය දහඅට වන විට හෘදයාබාධයක්‌ වැළඳී මිය යන්නට ඉඩ තිබෙන බව පැහැදිලිය.

මෙරට පාසල් සිසුන් අතර දියවැඩියා රෝග අවදානම ඉතාමත් නරක ලෙස ඉහළ යමින් තිබෙන අතර නාගරික පාසල් දරුවන්ගෙන් සියයට 25 ක්‌ පමණ දියවැඩියා රෝගයට ගොදුරුවීමේ දැඩි අවදානම් සහගත තත්ත්වයක සිටින බවත් මෑතක දී මෙරට සිදුකෙරුණු පර්යේෂණයක දී අනාවරණය වී තිබේ. දැනටමත් දිනකට දියවැඩියා රෝගීන් සියයක්‌ පමණ මිය යති. වර්ෂ 2035 වන විට රටේ ජනගහනයෙන් සියයට 30 – 40 කට දියවැඩියාව වැළඳෙතැයි සහ පිළිකා සුනාමියකට රට ගොදුරු වෙමින් තිබෙන බවටත් අනාවැකි කියැවෙන රටක දරුවන්ගේ ඉරණම ගැන බරපතළ ලෙස සිතීමට දැන් කාලය එළැඹ ඇති බව වෛද්‍යවරු අවවාදාත්මකව අවධාරණය කරති.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments