“Thai Smile’’ බැංකොක් සිට කටුනායකට ගමන් අරඹයි!
තායිලන්තයේ බැංකොක් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ඍජු ගමන් සේවා , තායි ස්මයිල් (Thai Smile ) ගුවන් සේවය මගින් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ” සිල්ක් රූට් ” පර්යන්තයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය .
ඒ. – 320 වර්ගයේ ගුවන් යානා සතියේ දින හතේම , එනම් තායිලන්තයේ බැංකොක් නුවර සිට අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන මෙම ගුවන් යානය , යළිත් එදිනම අලුයම 01.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතය .
මෙසේ තායිලන්තයේ බැංකොක් නුවර වෙත පිවිසෙන ගුවන් මගීන් එතැන් සිට පළල් බඳ සහිත තායි ගුවන් සේවා ගුවන් යානා මගින් ජපානය කොරියාව , හොංකොං , ඕස්ට්‍රේලියාව , සිංගප්පූරුව , ඉන්දුනීසියාව යන රටවල් වෙත ද ඍජු ගුවන් සේවා පහසුකම් ලබා දීමට සැළසුම් කර තිබේ .
මෙම තායි ස්මයිල් ගුවන් සේවය , තායිලන්තයේ තායි ගුවන් සේවයට අනුබද්ධිත උප ගුවන් සේවා සමාගමකි .
මෙම ගුවන් ගමන් සේවා ආරම්භ වීමත් සමගම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුළුල් වීමත් , එමගින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා ඒමත් අපේක්ෂා කරන බවද මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කළේය .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පෝජ් හාන් පෝල් ( Poj Harn Pol ) , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රෙහාන් වන්නිඅප්පා , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මධුභානි පෙරේරා මහත්මිය සහ මෙම ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත ඇන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


