“BASL අනතුරු අගවයි” ප්‍රචණ්ඩ ක්‍රියා කලොත් නීතිඥ සහාය නෑ!

සාමකාමී විරෝධතා ප්‍රචණ්ඩත්වයට හැරේ නම් එමගින් සාමකාමී ලෙස විරෝධතා ප්‍රකාශ කිරීමේ අරමුණ සහ අභිමතාර්ථය යටපත් වන අතර, යුක්තිසහගත විසම්මුතිය සඳහා තිබෙන අයිතිය යටපත් කිරීමේ අභිලාෂයන් මුදුන්පත් වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සංගමය පවසන්නේ, මෑතකදී සිදුවූ විරෝධතා ප්‍රචණ්ඩත්වට යොමු වී විරෝධතාකරුවන් ඇතැම් පුද්ගලයින්ගේ නිවාස ඇතුළු පෞද්ගලික දේපළ ඉලක්ක කර හානි කර තිබෙන බවට නිරීක්ෂණය වී ඇති බව ය.

එවැනි ක්‍රියා සාපරාධී වන අතර එමගින් එවැනි විරෝධතාවන්ට සහභාගී වන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් අධිකරණයේ චෝදනා ගොනු කිරීම සිදු විය හැකි බව නීතීඥ සංගමය අදාළ නිවේදනයෙන් අවධාරණය කර ඇත.

නීතීඥ සංගමය පවසන්නේ, කොන්දේසි විරහිතව එවැනි සාපරාධී ක්‍රියා හෙළාදකින අතර එවැනි ක්‍රියා සම්බන්ධයෙන් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග බලධාරීන් ගත යුතු බව ය.

එසේ ම විරෝධය දැක්වීම සඳහා සහ තම විසම්මුතිය ප්‍රකාශ කිරීම සඳහා තිබෙන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අඛණ්ඩව පෙනී සිටින අතර සාමකාමී ලෙස විරෝධතා දක්වන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද එමගින් අවධාරණය කර තිබේ.

එම සංගමය පවසන්නේ, විරෝධතා දක්වන්නන් සාමකාමීත්වය තහවුරු කිරීම සඳහා විරෝධතා අතරතුර ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට උත්සහ කරන පුද්ගලයින් පිටු දැකිය යුතු බව ය.

තව ද, දැනට සිදුවෙමින් පවතින විරෝධතාවලට එක ම ප්‍රායෝගික විසඳුම මහජන හඬට සවන්දී ඔවුන්ගේ අභිලාෂයන් ඉටුකිරීම බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතය යැයි අදාළ නිවේදයෙන් වැඩිදුරට ත් අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.