මෙරටට ඇතුළු වීමට නියමිත සුළි කුණාටුව ඉදිරි පැය 72ක තුළ දරුණු විය හැකි බැවින් ජනතාවට ප්‍රවේසම් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙවැනි බරපතළ තත්ත්වයේ සුළි කුණාටුවක් අවසන් වරට ශ්‍රී ලංකාවට බලපා ඇත්තේ වර්ෂ 2000 දෙසැම්බර් 26 වන දින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසයි.

මෙවර ඇතිව තිබෙන සුළි කුණාටු තත්ත්වය දිවයිනේ පළාත් 07කට බලපෑම් සිදුකරනු ඇති බවට අනපේක්ෂිත අවස්ථාවල දරුණු ප්‍රහාරාත්මක මට්ටමට පත්විය හැකි බවද ඔහු අනතුරු අඟවයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත් සඳහා සෘජුව බලපෑම් ඇතිවන අතර සෙසු පළාත් සඳහාද යම් කිසි බලපෑම් ඇතිවියහැක බව අවධාරණය කර ඇත. තද සුලං පවතින අවස්ථාවල විශේෂයෙන් ගස් යට හෝ ඒ ආසාන්නයේ නොසිටින ලෙසද මුහුදු වෙරළ ආශ්‍රිතව මීටරයකට වඩා උසට ජල රළ මතුවිය හැකි බවද ඒ මහතා පවසයි.