2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මේ වසරේ රජයේ ආදායම් සහ වියදම් සිදු වූ ආකාරය ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ අද (12) පැහැදිලි කිරීමට නියමිතය.  පාර්ලිමේන්තුව හමුවට අද ඉදිරිපත් කෙරෙන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර සහ තෙවන වර කියැවීමට අදාළ විවාදය පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන නමුත් පාර්ලිමේන්තු ආවරණ කටයුතු නැවත දැනුම් දෙන තුරු මාධ්‍යට විවෘත නොකෙරේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ අය-වැයක් ඉදිරිපත් නොකළ වසරක් ලෙස 2020 වර්ෂය සනිටුහන්ව තිබෙන අතර අවස්ථා දෙකකදී අතුරු සම්මත ගිණුම් හරහා රජයේ කටයුතුවලට අවශ්‍ය මුදල් වෙන් කෙරිණි. 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේදී එවකට පැවැති යහපාලන ආණ්ඩුව එක් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළේය.

නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අයවැයක් ඉදිරපත් කිරීමට නියමිතව තිබුණු නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් නැවත වරක් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කෙරිණි.

ඒ ආකාරයෙන් අයවැයක් ඉදිරිපත් නොකළ 2020 මූල්‍ය වර්ෂයේ ක්‍රියාකාරීත්වය කෙසේවීදැයි අග්‍රාමාත්‍යවරයා මෙසේ පාර්ලිමේන්තුව පැහැදිලි කරනු ඇති සමෘද්ධි, ක්ෂුද්‍ර මූල්‍ය, ගෘහ ආශ්‍රිත ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා දිනමිණට ඊයේ (11) පැවැසීය. ඉන්පසු පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා විපක්ෂය විසින් ගෙනෙණු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමටද නියමිතය.

2020 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ යෝජනාව මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අදාළ විවාදය අද (12) දවස පුරා පැවැත්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.

අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here