යහපාලන ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් අවිධිමත් ලෙස රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි ගණනින් ණයට ගත් මුදල් ගෙවීම සැලසුම් සහගතව පැහැර හැර ඇතැයි රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා සෙයා බැලීමට පත් කරන ලද සිව් පුද්ගල කමිටුවේ මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.  රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ මූල්‍ය ආයතනවල 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සිව් පුද්ගල කමිටුව පත් කළේය.

යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මඟින් සිදුකර ඇති විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව එම කමිටුවේ ප්‍රකාශකයකු පැවසීය.

ඇතැම් පුද්ගලයන් රජයට අයත් සියලුම බැංකුවලට ගොස් ණය අයදුම් කර ඇති අතර ඒවා ඉතා කඩිනමින් නියමිත ක්‍රමවේදයෙන් තොරව අනුමත කරවා ගැනීම, නිසි පරිදි දේපොළ ඇපයට නොතබා ණය ගැනීම ආදී පැමිණිලි රැසක් ද ඒ අතර වන බව එම ප්‍රකාශකයා පැවසීය.

මීට අමතරව රාජ්‍ය බැංකුවලට අයත් ඇතැම් දේපොල අත්තනෝමතික ලෙස විකුණා දැමීම පිළිබඳ පැමිණිලි ද ලැබී ඇති අතර අදාළ පැමැණිලි බාර ගැනීම සඳහා ලබාදී තිබූ කාලය තුළ අදාළ බැංකු මඟින් ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මඟින් සහ මහජනතාව විසින් පැමිණිලි 200 කට අධික ප්‍රමාණයක් කමිටුව වෙත බාර දී තිබේ.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් වන මූලික විමර්ශන මේ වනවිට ආරම්භ වී තිබෙන අතර විමර්ශනය කිරීමෙන් අනතුරුව චෝදනා එල්ල වී ඇති පාර්ශව කැඳවා තොරතුරු සටහන් කර ගැනීම සිදුකෙරේ.

ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගතයුතු නෛතික, මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත්, මුල්‍ය පාඩුවලට වගකිව යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනාගැනීමත් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරී ඇත.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයාබැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම කමිටුව පත් කෙරිණි. මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා ය. වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම් ධුරය දරනු ලබයි. මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මඟින් ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මඟින් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි බාරගැනීම තවදුරටත් සිදුවන අතර අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට පැමිණිලි යොමු කළහැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here