මලසිරුරක් රෝහලෙන් නිදහස් කොටගෙන වලදැමීම දක්වා කටයුතු තනිව සිදුකිරීමට ඔබට පැවරුනහොත් ඔබට එය කෙබඳු අත්දැකීමක් වේ යැයි ඔබ සිතනවාද?

පුරුෂ පක්ෂයේ අයෙකුට මෙය එතරම්ම ගැටලුකාරී තත්වයක් ඇති නොකරන නමුත් කාන්තාවකට එය එසේ නොවනවා නොඅනුමානය. කාන්තාව ගර්භනී තත්වයේ පසුවන්නියක වුවහොත් කුමන වටපිටාවක් නිර්මාණය වේද? එක් මලසිරුරක් වෙනුවට මලසිරුරු 5ක් වලදැමීමට සිදුවුවහොත් එය කොතරම් වෙහෙසකර සහ මානසික පීඩාවක් ගෙනදෙන කාරණාවක් වේද?

ග්‍රාම නිලධාරීන් සියළුදෙනා මුහුණ නොදෙන එවැනි තත්වයක් පිළිබඳ ග්‍රාම නිලධාරී වෘත්තියේ නියැලෙන ඔබ දැනගත යුතුමය.ඇය නමින් ආර්. එම්. අයි. දිල්හාරි මහත්මියයි. බලපිටිය මූලික රෝහල අයත්වන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනිය ඇයයි. 2020-11-05 බ්‍රහස්පතින්දා දින ඇය වෙත පැවරී තිබුනේ ඉතා භාරදූර මෙන්ම පීඩාකාරී රාජකාරියකි.

එනම් බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ නාඳුනන මලසිරුරු 5ක් වලදැමීමය. එක් මලසිරුරක් වලදැමීම සඳහා රජය මගින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන ප්‍රමාණය රු.12000/= කි. එම මුදලද නිදහස් කරනු ලබන්නේ අදාළ රාජකාරිය නිමකොට කුවින්තාසි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මලසිරුරු 5ක් භූමදාන කිරීමට රු. 60000/= ක් අවශ්‍යය. ඇය ප්‍රථමයෙන්ම මුහුණ දෙන ගැටලුව මේ කර්තව්‍යය ඉටු කරවා ගැනීම සඳහා මල් ශාලාවක් සම්බන්ධීකරණය කරගැනීමය. මල්ශාලා කිහිපයක හිමිකරුවන් හමුවීමෙන් අනතුරුව ඇය වෙත එක් මලසිරුරක් භූමදාන කිරීම සඳහා වැයවන අවම මුදල රු. 18000/= ක් වශයෙන් දැනගන්නට ලැබේ. ඇය පත්වන්නේ ඉතා අපහසු තත්වයකටය. තමන්ගේ වැටුප් පතෙන් තමන්ට කිසිඳු සම්බන්ධයක් නැති තැනැත්තන් පස්දෙනෙකුගේ සිරුරු වලදැමීමට තරම් ආර්ථික හැකියාවක් ඇය සතු නොවේ. ඇරත් ඇයට රු. 90000/= ක් තරමේ මුදලක් වැය කිරීමට කොහෙත්ම හැකියාවක් නැත.

සාමාන්‍ය ග්‍රාම නිලධාරියකුට එවැනි හැකියාවක් නොමැති බව පුන පුනා කීම ඇවැසි නැත.ඇය ඒ මොහොතේ අමතන්නේ සහෝදර ග්‍රාම නිලධාරී මහතුන් කිහිප දෙනෙකුටය. ඒ අනුව මිනීපෙට්ටි සැකසීම සඳහා අයෙක්ද, වලවල් කැණීම සඳහා ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයද, මෘත දේහයන් රැගෙන ඒම සඳහා මල්ශාලාවකට අයත් අවමංගල රථයක්ද සම්බන්ධීකරණය කරගන්නට ඇයට හැකිවේ.

ඒ අනුව 2020-11-05 දින උදෑසන විට මිනීපෙට්ටි, අවමංගල රථය සහ මෘත දේහයන් අවමංගල රථය වෙත පැටවීම සඳහා සහෝදර නිලධාරීන් කිහිපදෙනෙක් සහ ඇයගේ පවුලේ කිහිපදෙනෙක් මෘත ශරීරාගාරය ඉදිරිපිට සූදානමිනි. පෙ.ව. 9.00 සිට මෘත ශරීරාගාරය අසල රැඳි සිටි නමුත් මෘත ශරීර සියල්ල නිදහස් වන්නේ ප.ව. 2.00ට පමණය. මෘත ශරීරාගාර භාරකරු ඉල්ලා සිටි අල්ලස් මුදල ලබානොදීම නිසා එම ප්‍රමාදය හිතාමතා සිදුකරන ලද බව පසුව ඇය අප සමඟ පවසා සිටියාය.

කෙසේ වෙතත් ඊලඟ පියවර ආරම්භ විය.අවමංගල රථයේ එක් වරකට ගෙන යා හැක්කේ මෘත ශරීර 2ක් පමණි. දේහයන් සහිත මිනීපෙට්ටි රථයට පැටවෙන්නේ සහෝදර නිලධාරීන්ගේ සහයෙනි. එම මෘත දේහ සුසානභූමියේ කණින ලද වල වෙත රැගෙන යන්නේද සහෝදර නිලධාරීන් විසිනි. රෝහලේ සිට සුසානභූමියට කිලෝමීටර් 7ක පමණ දුරකි. මේ නිලධාරීන් තුන් වතාවක් මෘතදේහ රැගෙන ඒම සඳහා යති එති.

මහත් වෙහෙසකර කාර්‍යයකි. අවසානයේ ප.ව. 5.00 පමණ වන විට ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයට පින් සිදුවන්නට දේහයන් වල තුල තැන්පත් කොට වල වසා දමා සටහන් තබාගෙන කටයුතු නිම කරන්නට හැකි වේ. ඇය දරු ගැබකුත් දරාගෙන කුසගින්නේ මේ සියළු කාර්‍යයන් නිමවන තුරු එහි රැඳී සිටියාය. ඇයට ගෞරවයක් වශයෙන් ඇය සැබැවින්ම දිරිය කාන්තාවක් බව මෙහි සටහන් කොට තබමි.

ඇයට සුවවිරු, රණවිරු නම්බුනාම නැත. අඩුම වශයෙන් අදාළ රාජකාරිය සිදුකිරීම වෙනුවෙන් ප්‍රමාණවත් තරමට ප්‍රතිපාදන නැත සුවවිරුවන්ට මෙන් අවදානම් දීමනා නැත. රණවිරුවන්ට මෙන් බටා නැත. අඩුම තරමේ හිත සැනසෙන්නට වචනයක්වත් නැත. ඇය ඇයගේ අතින් වැයකළ මුදල් ලබාගැනීම සඳහා සති දෙකක් පමණ ගිණුම් අංශයේ නිලධාරීන් පසුපස වැඳ වැඳ යනු ඇත. සමහර විට ඇය ඒ සඳහා වැයකරන්නට මුදල් සපයාගන්නට ඇත්තේ ඇය පළඳින රන් ආභරණයක් උකසට තැබීමෙන් වන්නට ඇත. මේ එක් නිලධාරියකුගේ කතාවක් පමණි

සමාජ මාධ්‍ය තුළින් උපුටා ගත්තකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here