ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ලෝක පූජිත දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමා පටයකට නැගීමට සූදානම්ය. ‘800’ යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපටයේ මුරලිගේ චරිතය නිරූපණය කිරීමට දකුණු ඉන්දියාවේ සිනමා තරුවක් වන විජේ සේතුපති තෝරාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මේ වෙනවිට දකුණු ඉන්දියාවේ විශාල කලබැගෑනියක් ඇතිවී ඇත. දකුණු ඉන්දීය ඇතැම් දේශපාලනඥයන් මෙන්ම ඇතැම් පිරිස් විජේ සේතුපතිට එරෙහිව විරෝධතා ව්‍යාපාර පවත්වති. මේ වූ කලී ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද අස්වැන්නේ ශේෂ පත්‍රයයි.

මේ ලියැවෙන්නේ මුරලිගේ චිත්‍රපටය ගැන හෝ එයට එරෙහිව ඇවිළෙන විරෝධතා ව්‍යාපාරය ගැන හෝ නොවේ. ඒ හා සමාන අතීත සිදුවීමක් සම්බන්ධවය. මෙම සටහන සමඟ පළවෙන සේයාරූවලින් ඇතැම් විට ඒ අතීත මතකය සැණින් ඔබ තුළ දැල්වෙනු ඇත. එම සේයාරුවෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ඉන්දියාවේ රිචික් ගුවන් තොටුපළේ දී දෙමළ කොටි හිතවාදීන් පිරිසක් පහර දෙන ආකාරය වේ. වර්ගවාදය හෙළා දකින, ප්‍රචණ්ඩත්වය පිටුදකින මානව සමගිය අගය කරන සෑම මානව හිතවාදියකුගේම හදවත එම සේයාරූ නිසා සැලුම් වෙවුලුම් කා ගිය බවට සැකයක් නැත.
මේ ලියැවෙන්නේ ඒ හාමුදුරුවන් ගැන ය. එම සිදුවීම් මාලාව ගැන ය.

පත්බේරියේ ඥානාලෝක හාමුදුරුවෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්නේ 1990 – 1991 අධ්‍යයන වර්ෂය වෙනුවෙනි. පුරාවිද්‍යා විශේෂවේ දී උපාධියක් හදාරා 1995 වසරේදී සරසවි බිමට සමුදෙන උන්වහන්සේ එම වසරේදීම පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂණ නිලධාරියකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක්වූහ.

ඉන්පසු කතාව උන්වහන්සේගේ හඬින්ම මෙසේය.

“මම 2011 වසරේ දී ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආයතනයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියා. මගේ නවාතැන වුණේ දිල්ලි නුවර රතු බළකොටුවේ පශ්චාත් උපාධි ආයතනයේ නේවාසිකාගාරයයි. එහි විශාල පිරිසක් පශ්චාත් උපාධියට ඉගෙනගත්තා. අපේ රටෙන් හිටියේ මා ඇතුළු පස්දෙනයි. හාමුදුරු නමකට හිටියේ මං විතරයි.”

මේ 2013 වසරය. පුරාවිද්‍යා කැණීම් හා පර්​ෙ‌ය්ෂණ සඳහා උන්වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිවර ඉන්දියාවේ නොගිය තැනක් නැත. ඉන්දියාව පුරා මග පෙන්වන්නකු නොමැතිව තනිවම වුවත් සංචාරය කිරීමට සමත් බවක් උන්වහන්සේ මේ වෙනවිටත් අත්පත් කරගෙන සිටියහ. නාඳුනන දේශයේ ආගන්තුක බව මේ වෙනවිට උන්වහන්සේ වෙතින් දුරස් වී තිබිණි. තමිල්නාඩුවේ සිට කිලෝමීටර් 400ක් පමණ උතුරට වෙන්නට පිහිටි රිචික් ගුවන්තොටුපළ ආසන්න පරිශ්‍රයේ දී ද උන්වහන්සේට අමුතු බියක් සැකක් නොවීය.

“අපි එහි ගියේ පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂණයකට. එහි පැරැණි විශාල කෝවිලක් තියෙනවා. එහි පැරැණි පිළිම හා චිත්‍ර පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ගියේ. අපේ කණ්ඩායමේ 30 ක් විතර හිටියා. මම විතරයි හාමුදුරු නමකට හිටියේ. මට දිනය හරියටම මතක නෑ. නමුත් සිද්ධිය වුණේ 2013 අවුරුද්දේ පෙබරවාරි මාසයේ දිනයක දී. අපේ කණ්ඩායමේ ඉන්දීය ජාතිකයන්, බුරුම ජාතිකයන් හිටියා. සිංහල කෙනෙකුට හිටියේ මම විතරයි…” උන්වහන්සේ කියති.

පැරැණි කෝවිලේ පිළිම පර්​ෙ‌ය්ෂණය කළ උන්වහන්සේ ඇතුළු පිරිස එහි පිහිටි ගෙඩිගේ ඇති චිත්‍ර අධ්‍යයනය කිරීමට ගියහ. පුරාවිද්‍යා ආචාර්ය මණ්ඩලයක් ද උන්වහන්සේලා සමඟ වූහ.

“අපි ගෙඩිගේ චිත්‍ර අධ්‍යයනය කරලා එළියට බැස්සා. එතකොට වෙලාව උදේ 10 ට විතර ඇති. මම ගෙඩිගේ වටේ ඇවිදගෙන ආවා. එක පාරටම කැමරාවක් අතින් ගත්ත අවුරුදු 40 ක පමණ පුද්ගලයෙක් මගේ ඉස්සරහට ඇවිත් ඇහුවා ‘උඹ ලංකාවෙන් ද?’ කියලා. මට එහෙ ආචාර්යවරු විශේෂයෙන් උපදෙස් දීලා තිබුණේ කොයිම වෙලාවකදීවත් ලංකාවේ කියලා කියන්න එපා කියලා.”

“ඒ ඇයි?” ප්‍රශ්නය මගෙන්ය.

“උතුරේ යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉන්න දෙමළ ජනතාවට තිබුණේ වෙනත් මතයක්. ඔවුන්ගෙන් ගොඩාක් දෙනෙක් හිතුවේ උතුරෙදි වුණේ දෙමළ ජන සංහාරයක් කියලා. ඒ වගේම අපි ඔය හිටපු පළාතේ ලංකාවෙන් ආපු සරණාගත දෙමළ මිනිස්සු විශාල පිරිසක් හිටියා. අපිට යම් අනතුරක් වෙන්න පුළුවන් කියලා හිතලා තමයි ආචාර්යවරු අපට උපදෙස් දුන්නේ අපි ලංකාවේ කියලා කියන්න එපා කියලා.”
“උඹ ලංකාවෙද කියලා ඇහුවම ඔබවහන්සේ මොකක්ද කිව්වේ?” මම යළිත් විමසුවෙමි.

“මගෙන් එහෙම ඇහුවම මම කිව්වා මම ලංකාවේ නොවෙයි නේපාලයෙන් කියලා. ඊට පස්සේ ඒ මනුස්සයා කිව්වා, ‘නෑ නෑ අපි හොඳට දන්නවා උඹ ශ්‍රී ලංකාවේ’ කියලා. මම එතැන රැඳුණේ නෑ. මම ඉස්සරහට ගියා. විනාඩි පහක් දහයක් ගියේ නෑ. අර මනුස්සයා තිහක හතළිහක විතර පිරිසක් එක්ක ඇවිත් මාව වට කළා. ඒ අය මහ හඬින් මට බණිනවා. මගේ සිවුරෙන් අල්ලලා මාව ඇදගෙන යන්න හැදුවා. ඔය වෙලාවේ මගෙත් එක්ක ගිය කණ්ඩායම මාව වට කරගෙන මාව ඇදගෙන යන එකෙන් වැළැක්වූවා. ඒත් ඒ මදාවි පිරිස පාලනය කරගන්න අමාරුයි. ඒ අය ඔක්කොම එක පොකුරට මාව බදාගෙන මාව අරගෙන යන්නමයි හදන්නේ.
එතැනම තිබුණා පුරාවිද්‍යා කාර්යාලයක්. මාව බොහොම අමාරුවෙන් ඒ මැර පිරිසගෙන් මුදවාගෙන අර පුරාවිද්‍යා කාර්යාලයට එක්කරගෙන ගියා. ඒ කාර්යාලයෙ කාමරයක් තිබුණා. ඒ කාමරයට මාව දාලා දොර වැහුවා. මේ වෙනකොට හාර පන්සීයක් සෙනඟ මට බැණ බැණ එළියේ ලොකු යුද්ධයක් කරගෙන යනවා. ඒ අය අපේ ආණ්ඩුවට, හමුදාවට, සිංහල ජාතියට බණිනවා. ඉන්දිරා ගාන්ධි මැතිනියටත් බණිනවා. කොහොම හරි ඔය වෙලාව වෙනකොට පොලිසිය එතැනට ආවා. මං හිතන්නේ බස් තුන හතරකින් පොලීසියෙ අය ආවා. ඒ අය ඇවිත් සම්පූර්ණයෙන්ම ආරක්ෂාව දුන්නා.

මේ වෙනකොට මගෙත් එක්ක ආපු අයව පොලිස් ආරක්ෂාව ඇතිව එතැනින් පිට කළා. දැන් මං විතරයි එතැන ඉන්නේ. ඔය අතරේ ඒ පළාතේ පොලිස් කොමිෂනර් ආවා. ඇවිත් මට කිව්වා හාමුදුරුවන්ව එළියට ගන්න විදියක් නෑ. මේ අය බොහොම ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනවා. නමුත් බය වෙන්න එපා. අපි ඉන්නවා. තව ටිකක් බලමු කියලා. එළියෙ ඝෝෂාව දැන් එන්න එන්නම වැඩියි. මට තේරුණා කොයිතරම් පොලිස් බලයක් තිබුණත් එළියෙ පිරිස පාලනය කරගන්න අමාරුයි කියලා. ඒත් මොනවා කරන්නද? වෙන දෙයක් වෙච්චදෙන් කියලා මම බලාගෙන හිටියා.”

“ඊට පස්සෙ මොකද වුණේ?” යළිත් මගෙන් ප්‍රශ්නයකි.

“අර මම මුලින් කියපු පොලිස් කොමිෂනර් ආපහු ආවා. එයාගේ අතේ තිබුණා ටීෂර්ට් එකකුයි, වේට්ටියකුයි. ඒක මගේ අතට දීලා කිව්වා මෙතැන දිගටම ඉන්න අමාරුයි. එන්න එන්න පිරිස වැඩිවෙනවා. ඔබවහන්සේව මෙතැනින් එළියට ගන්නම වෙනවා. ඒත් සිවුරෙන් ඒක කරන්න බෑ. ඔබවහන්සේ මේ ටීෂර්ට් එකයි වේට්ටියයි ඇඳගන්න. මම මෙතැනට කාර් එක ගේන්නම්. එක පාරටම ඇවිත් ඒකට නගින්න කියලා.”

“ඔබ වහන්සේ එහෙම කළා?” මම යළිත් විමසුවෙමි.

“ඔව්, වෙන විකල්පයක් නෑනේ. කොහොමහරි මම එතැනට ආපු පොලිස් කොමිෂනර්ගේ කාර් එකට නැග්ගා. ඒ එක්කම අර පිරිස තවත් කුපිත වුණා. දැන් කාර් එක ඉදිරියට යනවා. අර මිනිස්සු ගල්වලින්, පොලුවලින් කාර් එකට ගහනවා. මම කාර් එක ඇතුළේ පාත්වෙලා ඉන්නවා. කාර් එකේ වීදුරුත් කුඩු. මග දිගටම ඒ විදියයි. මං හිතන්නේ මොකක් හරි හේතුවකට ඒ මිනිස්සු මාව මරන්නමයි හිටියේ.

දැන් කාර් එක මහ පාරට ආවා. එතකොට ටිකක් වේගයෙන් යන්න පුළුවන්නේ. ඒත් එක පාරටම අතුරු පාරකින් ලොකු බස් එකක් පාරට දැම්මා. අපි ගිය කාර් එක හප්පන්නමයි එහෙම කළේ. ඒ වුණත් පොලිස් රියැදුරා වෙට්ටුවක් දාලා බස් එක මග ඇරලා ඉදිරියට ගියා.

ඔහොම ටික දුරක් යනකොට පොලිස් කාර් එක නවත්තලා මාව දැම්මා ගිලන් රියකට. ගිලන් රියේ දාගෙන කෙළින්ම ආවා ට්‍රිචි ගුවන්තොටුපළට. මාව ගේනවා කියන ආරංචියට මගේ ආරක්ෂාවට ට්‍රිචි ගුවන්තොටුපළ පැයක වගේ කාලයකට වහලා තිබුණේ. මං වෙනුවෙන් චෙන්නායි නුවරට එන්න විශේෂ ගුවන්යානයක් ලෑස්ති කරලා තිබුණා. මම ඒ ගුවන්යානයෙන් චෙන්නයි නුවරට ආවා. එතැනින් තවත් විශේෂ ගුවන් යානයක් සූදානම් කරලා තිබුණා දිල්ලියට. මම ඒ විදියට දිල්ලියට ආවා.”

එසේ දිල්ලියට වැඩම කළ ඥානාලෝක හාමුදුරුවෝ නැවතත් පශ්චාත් උපාධි ආයතනයට වැඩම කර අධ්‍යයන කටයුතු දිගටම කරගෙන ගියහ. උන්වහන්සේ නැවත ලංකාවට වැඩම කරන්නේ පශ්චාත් උපාධිය සාර්ථකව අවසන් කිරීමෙන් පසුවය.

“ඔබවහන්සේට ඒ සිද්ධිය ගැන දැන් මොකද හිතෙන්නේ?” මම විමසුවෙමි. මේ එයට උන්වහන්සේ දුන් පිළිතුරය.

“ඔය ප්‍රශ්නයම මම ට්‍රිචි ගුවන්තොටුපළේ ඉන්නකොට මාධ්‍යවේදියෙක් මගෙන් ඇහුවා. මං කිව්වා මට නම් විශේෂ හැඟීමක් නෑ කියලා. නමුත් ඔහු දිගින්දිගටම මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා. ඔහුට උවමනා කරලා තිබුණේ මගෙන් ආවේගශීලී උත්තරයක්. නමුත් මම ඒ මාධ්‍යවේදියාට කිව්වේ මට විශේෂ හැඟීමක් නෑ කියලා. ඔහුගෙන් බේරෙන්න බැරිම තැන මම කිව්වා මේ වගේ පිස්සෝ ඕනෑම රටක ඉන්න පුළුවන්. මේක මෝඩ මිනිසුන්ගේ මෝඩ ක්‍රියාවක් කියලා. ඔහු මගේ උත්තරයෙන් සෑහීමකට පත්වුණේ නෑ. ඔහු මට කියනවා ඔබ බෞද්ධ භික්ෂුවක්නේ. භික්ෂුවක් හැටියට මොකද මේ ගැන හිතන්නේ කියලා. මම කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඔබට කවුරුහරි බැන්නොත් ඔහු ඔබට ගැහුවේ නෑ කියලා හිතලා ඔහුට මෛත්‍රී කරන්න. ඔබට කවුරුහරි ගැහුවොත් ඔහු මාව මැරුවේ නෑ නේද කියලා හිතලා ඔහුට මෛත්‍රී කරන්න කියලා. ඉතින් මම දැන් හිතන්නේ එහෙම තමයි කියලා.”

ඥානාලෝක හාමුදුරුවන්ගේ එම ප්‍රකාශය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ඊට පසුදින ඉන්දියාවේ බොහෝ පුවත්පත් වාර්තා කර ඇත.

සිදුවීම් මාලාව එතැනින් නතර වී නැත. මේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේගේ මතකය වේ.

“ඔය සිදුවීමට සම්බන්ධව පුද්ගලයන් පහළොස් දෙනෙකු විතර පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඒ අය නිදහස් කරන්න කියලා ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු උද්ඝෝෂණය කරමින් රජයට බලපෑම් කළා. ඒ අය පාර්ලිමේන්තුව වර්ජනය කළා. ඒ වෙනවිට අපේ පාඨමාලාව බාරව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්ගේ වැඩ තහනම් කළා. අවශ්‍ය ආරක්ෂාව ලබාදුන්නේ නැහැ කියලා. ඒවගේම ඒ අධිකරණ ක්‍රියාවලියට මාව සම්බන්ධ කරගත්තේ නෑ. මගෙන් ඇහුවා වන්දියක් අවශ්‍ය ද කියලා. මම ඒකත් ප්‍රතික්ෂේප කළා. අපේ පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය මහාචාර්යවරු සියලුදෙනාම වගේ මාව මුණගැහිලා කනගාටුව ප්‍රකාශ කළා. මට ඔවුන්ගේ විශේෂ පිළිගැනීමක් ලැබුණා. ඔය සිද්ධිය මගේ ජීවිතයට අදාළව ගත්තොත් තවත් එක් සිද්ධියක් විතරයි.”

ඥානාලෝක හාමුදුරුවෝ කතාබහ සමාප්ත කළේ එසේය. මුළු දිවියම රට, දැය, සමය වෙනුවෙන් කැප කර සිටින උන්වහන්සේ මේ වෙනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ පර්​ෙ‌ය්ෂණ නිලධාරියෙකු ලෙස සේවය කරති.

“මම බෞද්ධ භික්ෂුවක්. මම ජීවත් වෙන්නේ ඒ දහමට අනුවයි. වෛර සිතිවිලි මා තුළ නැහැ. මා සතුව ඇත්තේ මෛත්‍රිය පමණයි. උන්වහන්සේ පළකළ ඒ අදහස මගේ සටහනේ අවසන් වැකිය ලෙස සටහන් කර තබමි.

උපුටාගැනීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here