කොවිඩ් වසංගතය ආණ්ඩුව වසන්තයක් කරගෙන කටයුතු කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (05) පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර වැඩිදුරටත් ඔහු මෙසේද පැවැසීය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාවත් මරණ සංඛ්‍යාවත් දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. බරපතළම තත්ත්වය තමයි වාර්තා වන මරණ සිදු වුණාට පසුවයි දන්නේ ඔවුන් කොවිඩ් ආසාදිතයන් බව. අද දොළොස්දාහ නෙමෙයි, ඊට එහා කොවිඩ් ආසාදිතයන් රට තුළ ඉන්න පුළුවන්. කොවිඩ් වසංගතය ආණ්ඩුවට කොවිඩ් වසන්තයක් වෙලා තියෙනවා. විදේශගත ශ්‍රමිකයන් ඡන්දෙට කලින් තමන්ගේ අතින් වියදම් කරගෙන ලංකාවට ආවේ. ඒත් දැන් ඔවුන්ට ලංකාවට එද්දී පැකේජ් එකක් එක්ක ටිකට් එක ගන්න වෙලා තියෙනවා. ඒක ආණ්ඩුවේ ගජමිතුරු සමාගම්වලට පැවරිලා තියෙන්නේ. මේ අය ලංකාවට එන ශ්‍රී ලාංකිකයන් සූරාගෙන කනවා. දැන් මේ ගජ මිතුරන් හරහා අධික මිලකට රැපිඩ් ටෙස්ට් කිට් ගෙන්වන්නට පටන් අරන් තියෙනවා. ඒ අනුව කොවිඩ් වසංගතය ආණ්ඩුවට වසන්තයක් වෙලා. අපේ ආණ්ඩුව 1990 සේවාව ගෙන්වද්දී රාජිත සේනාරත්න මහත්තයා ඇම්බියුලන්ස් ගෙන්නුවා. එදා අපි කළ දේ අනුවයි මේ වසංගතයට ප්‍රතිකාර වෙන්නේ. දැන් ජනතාවට මිථ්‍යාව, රජයට විද්‍යාව වෙලා තියෙනවා. ඇමැතිලා කළගෙඩි ජලාශවලට අතාරිනවා. මේවා පිරිත් පැන් කියලා කිව්වට වෛද්‍ය වයිට්ගේ පැන් කියලා අපි දන්නවා. දැන් ජනතාවට පෙන්නනවා මහ මුහුදට පනින්න ලෑස්තියි කියලා. රජ පවුලට විද්‍යාව ජනතාවට මිථ්‍යාව. දැන් කොවිඩ්වලින් බේරෙන්න වීවීඅයිපී කට්ටිය චීනයෙන් හඳුන්වා දුන් වැක්සීන් එකක් ගහගෙන තියෙනවා කියලා අපිට ආරංචියි. මේක අත්දෙකට ඩොලර් 140කට තමයි ගහගෙන තියෙන්නේ. ඒගොල්ලෝ ඒවා ගහගත්තට අපිට කමක් නෑ. අපි කියන්නේ ජනතාවටත් ඒ පහසුකම් දෙන්න ඕනි. මේ ආණ්ඩුව තම සුඛ විහරණයට තමයි ගමන් කරන්නේ. ජනතාවට දුන්න බඩු මල්ලක්වත් දහදාහක්වත් නෑ. මේකයි රටේ ඇත්ත තත්ත්වය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here