කොවිඞ් 19 මර්දනයට පිළියමක් සොයාගන්නා තෙක් රට වසා තබා ගත නොහැකි බවත්, එම නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට ජනතාව සූදානම් විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.
 
 ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04 ) කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.
 
 
 පවතින තත්ත්වය තුළ ජනතාව වගකීමකින් යුක්තව ක‍්‍රියාකිරීම අවශ්‍ය බවත්, ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව සිදුකළ නොහැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
 ජනජීවිතය, රටේ ආර්ථිකය සහ අනිකුත් සියලූ පැතිකඩ පිළිබඳව අවබෝධයෙන් යුතුව තීන්දු තීරණ ගත යුතු බවත්, එම නිසා වෛරසයට පිළියමක් සොය ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බවත්  ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.
 
 රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාසික වේතන ලබා  ගන්නා පිරිසට රට වසා තැබීම ගැටලූවක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා දෛනිකව මුදල් උපයා ගන්නා පිරිසට රට වසා තැබීම ගැටලූවක් බවත් කියා සිටියේය.
 
 එසේම පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා දැනට පනවා තිබෙන  ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම පොලිසියේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here