අපි විවාහ වුණේ 2014 ජනවාරි මාසයේ. ඒ කාලෙ ඉඳන්ම දරු සුරතල් බලන්න මේනකයි, මමයි ආසාවෙන් හිටියේ. ඒත් අපිට ඉදිරි ජීවිතය ගැන සැලසුමක් තිබුණා විවාහයෙන් පස්සෙ 2015 වසරේ මේනකගේ අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යන්න. විවාහ වුණ අලුත දරු සුරතල් බලන්න තිබුණ කැමැත්තට ඉඩදෙන්න ඒ කාලයේ අවකාශයක් තිබුණෙම නැහැ. මොකද අපිව නිර්මාණවලට දායක කරගත්ත අය අපහසුවට පත් කරන්න. මගේ කලා ජීවිතයේ මම අකමැතිම දෙයක් තමයි කරගෙන ගිය වැඩක් අතරමග අතහැර දැමීම හෝ එම නිර්මාණකරුවන් අපහසුවට වෙන දේවල් මා අතින් සිද්ධ වීම. මම වැඩක් බාරගනිද්දි හරියට ඒ ගැන සැලකිලිමත් වෙනවා. නමුත් අවාසනාවට ‘සුජාතා’ ටෙලි නාට්‍යයේ නම් මම කරමින් හිටපු චරිතය අතරමග දාලා ඇමරිකාවට යන්න සිද්ධ වුණා.

ඇමරිකාවට ගියාට පස්සේ ඒ ජීවිතයට හුරුවෙලා අධ්‍යාපන කටයුතු කරන ගමන් අපි රැකියාවල් කළා. ඒ වාතාවරණය යටතේ දරුවෙක්ට අපි අතරට එන්න සුදුසු නැහැ කියලා අපි දෙන්නම හිතුවා. මේනකයි, මමයි තේරුම් අරන් හිටියා දරුවෙක් හදා වඩා ගන්න මානසිකව හා කායිකව කැපවෙන්න සුදුසු කාලයක අපි ඒ දේට ඉඩ සලසා ගන්න ඕන කියලා. මේනකගේ අධ්‍යාපනය අවසන් කරලා 2019 අපි ලංකාවට ආවා. ඒ ඇවිත් අපි සුපුරුදු වැඩ කටයුතු පටන් ගත්තා. මේනක ක්ෂේත්‍රයේ කාර්යබහුල වුණත් මම වැඩියෙන් නිර්මාණ බාරගත්තෙ නැහැ. මේ තමයි අපේ දරු සුරතල් බැලීමේ හීනයට හොඳම කාලය කියලා අපි දෙන්නම තීරණය කරගෙනයි හිටියේ. පෙබරවාරි වෙද්දී මම අලුතින් වැඩ බාරගත්තෙම නැහැ. මාර්තු වෙද්දි කොවිඩ් වසංගතය නිසා අපි හැමෝගෙම වැඩ කටයුතු නතර වුණා. ඒ කාලයේ තමයි අපේ කිරි හීනය හැබෑ වුණේ.

දරුවා පිළිසිඳ ගත්තට පස්සේ අපේ ජීවිත අමුතුම සුන්දරත්වයකින් පිරෙන්න ගත්තා. බබා පළිසිඳගෙන ගෙවුණ මුල් මාස තුනේදි කෑමවල සුවඳ දැනෙද්දිත් මට වමනය, හිසරදය දැනුණා. ඒ මාස තුනේම මම හිටියේ ඇඳේමයි. කෑම බෙදාගන්නත් අප්පිරියයි. අම්මි තමයි කෑම බෙදාගෙන ඇවිත් මට කැව්වේ. හිසරදය වෙලාවට මේනකයි, මගේ අම්මියි, ඩැඩයි මගේ ළඟට වෙලා ඔළුව අතගානවා. මේනකගේ අම්මියි, අක්කියිත් අපේ ගෙවල්වලට ආසන්නයේමයි පදිංචි වෙලා ඉන්නේ. එයාලත් කෑම අරගෙන එනවා මාව බලන්න. මේ කාලයේ මට සැලකිලිවලින් ආදරයෙන් නම් අඩුවක් නැහැ. ඉස්සර මම සාමාන්‍යයෙන් ඇඟ සැහැල්ලුවට තියාගන්න ව්‍යායාමවලට ඇබ්බැහි වෙලා හිටියා. මට බබා ලැබෙන්න ආවත් හරි මේ හැම දෙයක්ම වෙනස් වුණා. කෑම පාලනය කරපු කාලේ දවසටම ආටා රොටි කාලා හිටියා. මම හොඳට කන්න බොන්න පුරුදු වුණා. ඒ කාලෙ මම හිතුවා කවද හරි බබෙක් ලැබෙන්න ඉන්න කාලෙටත් මම ව්‍යායාම කරලා හොඳට ෆිට් එකේ ඉන්නවා කියලා. ඒවා සේරම වෙනස් වෙලා මම දැන් හොඳටම මහතයි. මහත නිසාම මගේ සුපුරුදු කාර්යශූර බව අඩුවෙලා. දැන් ගේ ඇතුළෙ ඇවිදින්නෙත් හෙමින්. මට දැන් පොඩ්ඩ ඇත්නම් මහන්සියි.

මේ හැම අපහසුතාවක්ම ආදර සැලකීම් මැද අම්මා කෙනෙක් වෙන්න යද්දී දැනෙන සතුට හා තිගැස්ම මම දැන් අත්විඳිනවා. මගේ හිතේ මගේ අම්මා හා මේ ලෝකයේ ඉන්න අම්මලා ගැන තිබුණ ආදරය, ගෞරවය සිය දහස් ගුණයකින් වැඩිවුණා. මාස නවයක් දරුවෙක් කුසේ දරාගෙන ඉන්නවා කියන එක පොඩි දෙයක් නෙවෙයි. කුස ඇතුළෙ වෙන දේ අපිට පෙනෙන්නේ නැහැනේ. දරුවා කුසේ දඟලනවා නොදැනෙන හැම මොහොතකම හිතේ තැතිගැන්මක් ඇතිවෙනවා. ඒ හැම වාරයකම අනේ එයා හොඳන්ද කියලා හිතෙනවා. මං හිතන්නේ දරුවෙක් පිළිසිඳගෙන දරුවා කුසේ සිටින මාස නවයම හැම අම්මා කෙනෙක්ම ඒ තැතිගැන්ම එක්ක ජීවත් වෙනවා ඇති.
මේනක හරිම ආදරණීය, ආඩම්බරකාර තාත්තා කෙනෙක් වෙලා. එයා හරිම පරිස්සමෙන් මාව බලාගන්නවා. මට මොනව හරි අපහසුවක් දැනිලා රෑ යාමයේ මම ඇහැරෙන වාරයක් පාසා එයත් ඇහැරෙනවා. එයා හරිම ආදරයෙන් ආසාවෙන් බලාගෙන ඉන්නේ අපේ බබා අපේ ළඟට එනතුරු. සමහර වෙලාවට කියනවා මෙයා ආවහම මම ෂූටිං යද්දි මෙයාව අරගෙන යනවා, ඔයා නෙවෙයි මෙයාව ළඟ තියාගන්නේ, මම කියලා කියනවා. ඒ වෙලාවට මම විහිළු කරනවා දෙන්නම් ඔයාට කියලා. මම ඒ ආදරබර සිතුවිලිවලට හරි කැමතියි, ආදරෙයි.

බබෙක් ලැබෙන්න ඉද්දි අම්මලාට දැනෙනවා වගේ මට දොළදුක් ආවේ නැහැ. හැබැයි එක දවසක් මට වෙරළු කන්න ආසාවක් ඇතිවුණා. ඒක මේනකට කිව්වාම මේනක මට වෙරළු ගෙනත් දුන්නා. මගේ තාත්තත් වෙරළු ගෙනාවා. මගේ නැන්දත් වෙරළු එව්වා. අන්තිමට මට වෙරළු එපා වෙනකම් අපේ ගෙදර වෙරළු. සමහරක් වෙලාවට මේ දේ තිබුණොත් හොඳයි කියලා ආසාවල් ඇතිවෙනවා. ඒ සැණින් මේනක මට ඒවා ගෙනත් දෙනවා.
අපිට දුවෙක් ලැබුණත්, පුතෙක් ලැබුණත් ඒ දෙන්නගෙන් ඕනම කෙනකුට අපි කැමතියි. හැබැයි අපි දැන් දන්නවා අපිට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. අපේ බබාට දාන නමත් අපි හදලයි තියෙන්නේ. අනාගතයේ දවසක අනේ එයා කලාවට එන්න ඕන, එහෙම නැතිනම් මේ ක්ෂේත්‍රයට එන්න ඕන කියලා ආසාවක් අපිට නැහැ. එයා එයාගේ අධ්‍යාපන කටයුතුවලින් හා බාහිර දේවල්වලින් යම් ශිල්පියක් ගැන ඔපමටට්ම් වෙනවා නම් ඒ ක්ෂේත්‍රයෙන් එයා ඉහළට යනවට කැමතියි. මමයි, මේනකයි වැඩිය එළියෙ ඇවිදින්න යන්න කැමති දෙන්නෙක් නෙවෙයි. අපි දෙන්නම ගෙදර ඉන්න දවසට එකට කෑම ගන්න, චිත්‍රපටයක් බලන්න, කතා කර කර ඉන්න තමයි අපි ලැබෙන විවේකය වෙන් කරගන්නේ. අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන එකත් ලොකුවට ප්‍රසිද්ධ කරන්න අපිට ඕන වුණේ නැහැ. මම වැඩිය එළියට ගියේ නැති නිසා මේ ගැන කවුරුත් දැනගත්තෙත් නැහැ. චතුරිකා අක්කගේ බබාගේ උපන් දින සාදයට ගියාට පස්සේ තමයි මේ ගැන හැමෝම දැනගත්තේ. දෙමවුපියන් ප්‍රසිද්ධ නිසා අපේ දරුවා ගැනත් වැඩියෙන් දැගනීවි. අපි ඉන්න ක්ෂේත්‍රයේ හැටියට කොහොමටත් අපේ ජීවිතවල දේවල් ප්‍රසිද්ධ වෙනවා. සමාජයට හොරෙන් බබාව හිර කරගෙන හදන්න මම ආස නැහැ. එයාගෙ නිදහස එයාට දෙන්න ඕනනේ.

අපේ පවුල්වල හැමෝම දැඩි කතෝලික භක්තිකයන්. මම හිතනවා අපේ දරුවත් අනිවාර්යෙන්ම ආගමට දහමට ලැදි දරුවෙක් විදිහට හැදී වැඩෙන්න ඕන කියලා. දරුවා කුසේ පිළිසිඳගෙන සති ගාණක් ගියාම එළිමහනේ ශබ්ද එයාට ඇහෙනවා කියනවානේ. එහෙම ඇහෙනවා කියලා විශ්වාස කරන දවසේ ඉඳන් මම ගොඩක් වෙලාවට එයාට ඇහෙන්න සැලස්වූවේ ගීතිකාවන්. මම, මගේ ජීවිතයේ හැමදාම සතුටෙන් හිටිය කෙනෙක්. අනිත් හැමෝටම වගේ මගේ ජීවිතයෙ හැළහැප්පීම්, දුක් වේදනා ආවේ නැතිව නෙවෙයි. නමුත් මම ඒ දුක්බර කාල සිහි කරමින් දුක් ගන්නේ නැහැ. ලැබුණ අත්දැකීම්වලින් ජීවිතය ශක්තිමත් කරගෙන හැමදේම වුණේ හොඳට කියල හිතලා අද දවසේ සතුටෙන් ජීවත් වෙනවා. මේ ගෙවෙන්නේ අපේ දරු පැටියා අපි ළඟට එන්න ආසන්න කාලය. මට මගේ පවුලෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා බබා ලැබුණට පස්සේ සුපුරුදු රංගන කටයුතු කරන්න මට බාධාවක් නැහැ. මොකද බබා බලාගන්න අපේ අම්මියි, ඩැඩයි ඉන්නවා. මේනකගේ අම්මියි, අක්කිත් ඉන්නවනේ. ඒත් බබා ලැබිලා ගෙවෙන මුල් මාස තුන නම් මම එයා ළඟ ඉන්නවා.

උපුටා ගැනීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here