සටහන -සිරිල් එඬේරමුල්ල

ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මීගමුවෙන් පැරදුණේය. මීගමුවෙන් පමණක් නොව, කතෝලිකයන් බහුතරයක් සිටින වත්තලින්ද පරාජයට පත්විය. මේ පරාජය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ මීගමු වැසියන්ට එල්ල වූයේ දැඩි විරෝධයකි. එවැනි විරෝධයක් දැක්වීමට හේතුව කතෝලිකයන් බහුතරය වෙසෙන මීගමුව පාස්කු ප්‍රහාරයෙන් බැටකා තිබීමය. පාස්කු ප්‍රහාරය හේතුවෙන් කතෝලිකයන් බියට පත්ව සිටි පසුබිමක ජාතික ආරක්ෂාව ගැන මුල්තැන දුන් ගෝඨාභය එම ආසන දෙක පරාජයට පත්වීමට හේතුව විග්‍රහ කරන ලිපියකි මේ.

2019 ජනාධිපතිවරණය ඉතා සාමකාමීව නිම විය. බොහෝ දෙනා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබ, ගෝඨාභය රාජපක්ෂ ධුරයට සුදුස්සා වූයේ ය. ගෝඨා-භය යන්න, මවන ලද මිරිඟු සිහිනයක් බව රට ට හෙළිවූයේ ය.

මහා කථන ගෝෂාවක් ද, මහා ජන ගඟක් ද, සමග තරග වැදුන සජිත් ප්‍රේමදාස හට, වූයේ කුමක්දැයි එ.ජා.පාක්ෂිකයන් තියුණුව සොයා බැලිය යුතුය. ඉටු කිරීම අසීරු අපේක්ෂා මවා පෙන්වන හා, අසන්නන් පවා විශ්වාස නො කරන පොරොන්දු දෙන, අනාගත දේශපාලන පාක්ෂිකයනට පාඩම් පිණිස, ඉතිහාසගත කර තබන්නට ය.

මහින්ද රාජපක්ෂ ද 2015 දී ඒ විපිළිසරයට මුහුණ දුන්නේ ය. එහෙත්, එසේ වූයේ ඇයිදැයි ශ්‍රී.ල.නි.ප.යන් වුව සමීක්ෂණයක යෙදුන බවක් දැනගන්නට නැත.

උතුරු නැගෙනහිර හා වතුකරයත්, දකුණේ ඡන්ද කොට්ඨාස දෙකකුත් හැර, රටේ අන් සියලු ඡන්ද කොට්ඨාස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තේය.

ගෝඨාභය හට, මීගොමුවේ දී හා වත්තල දී එසේ වූයේ ඇයිදැයි, රටේ විචිකිච්ඡාවක් ඇති බව දැනගන්නට ලැබුණි.

අපි සෙවිල්ලක යෙදුනෙමු.

ඒ ඡන්ද කොට්ඨාස දෙකේ සිංහල බෞද්ධ ඡන්ද අඩු නිසා, එ සේ වූ බවට සමාජ මතයක් තිබේ. එසේම ඒ ඡන්ද කොට්ඨාස දෙකේ වැඩිපුර වෙසෙන්නේ පොදුජන පෙරමුණු විරෝධීන් නිසා, එ සේ වූ බවට මතයක් ද තිබේ.

එකදහස් නවසිය තිස් හතළිස් ගණන්වල සිට ම, බටහිර උතුර මුහුදුබඩ ප්‍රදේශ, එ.ජා.ප.යට බර බව මැතිවරණ ඉතිහාසයෙන් පෙනේ. ඊට හේතුව, ඒ ප්‍රදේශවල වැඩි ජනගහනය කිතුනු ආගමිකයන් නිසාය යන තීන්දුවක් එදා රටේ තිබුණි. එහෙත් ඒ තීන්දුව අද ට වලංගු නැත.

මීගොමුව හා වත්තල ඡන්ද කොට්ඨාස, රටේ අන් බොහෝ ඡන්ද කොට්ඨාසවලට වඩා, අධ්‍යාපනිකව ඉහළය. රටේ ඉහළම පාසල් කීපයක් මීගොමුවේ පිහිටා ඇත. ප්‍රදේශ දෙකේම වැඩි ජනගහනය මධ්‍යම පාංතිකය. රටේ ඉඩම් හිමි වැවිලිකරුවන් පිරිසක් පදිංචිව සිටින්නේ ඒ ප්‍රදේශයේ ය.

ගෝඨාභය රාජපක්ෂට මීගොමුවෙන් 31.743 ද, වත්තලින් 48.274 ද ඡන්ද ලැබී ඇත. (බෙලිඅත්තෙන් ලැබී ඇත්තේ 42.668 කි.) කොට්ඨාස දෙකෙන් ම ඡන්ද 80.017 ලැබී ඇත. වත්තල ඡන්ද කොට්ඨාසයෙන්, ගෝඨාභය රාජපක්ෂට වඩා සජිත් ප්‍රේමදාසට ලැබී ඇත්තේ, ඡන්ද 1249 කි. කොට්ඨාස දෙකේ වලංගු වූ මුළු ඡන්ද සංඛ්‍යාව 1.86.701 කි. ඉන් ඡන්ද 93.495 ක් සජිත් ප්‍රේමදාස හිමි කර ගෙන ඇත.

සඳහන් කළ යුතු තවත් කාරණයක් තිබේ. දෙකොට්ඨාසවලම ඡන්ද දායකයන් 50.914 කිසිදු මනාපයක් පළ කර නැත. (මීගමුව 26.082 / වත්තල 24.832). එද සොයා බැලිය යුතු කාරණයකි.

තමන්ට, අදත්, ස්ථිර පො.ජ.පෙරමුණු සංවිධායකයකු නැතැයි, මීගොමුවෝ පවසති.
කලක් දෙදෙනෙකු සිට ඇත. ඉන් එක් අයෙකු, මහින්ද රාජපක්ෂ රජය, මීගොමුවට ධීවර වාරයක් ඉදිකිරීම සඳහා වෙන් කළ විශාල මුදලක් පිළිබඳ, විශ්වාසය කඩකිරීමේ සැකය මත අධිකරණය ඉදිරියේ ය. දෙවැන්නාගේ නිවස හදිසියේ වටකළ මත්ද්‍රව්‍ය නාශක අංශයට වටලෑම අතහැර යන්නට සිදුවිය. මීගොමු කතෝලික පූජකවරු හා කිතුනු ලබ්ධිකයෝ, ඒ සිද්ධිය අදත් පුන පුනා හෙළා දකිති.

මීගොමු දෙවන පොදුජන පෙරමුණ සංවිධායක, වත්තල පොදුජන පෙරමුණ සංවිධායක කෙරුණි. අද වනවිට ආසන දෙකම පරාජය වීමේ පාඩුව විඳින්නට සිදුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂටය.

මීගොමුවේ ජ්‍යෙෂ්ඨ පූජක, අබා කොස්තා පියනම විසිහත් පොළකට පිහි ඇනුම් කා, බෙල්ල ද කපා මරා දැම්මේ, මීගොමුවේ මත්කුඩුවලට එරෙහිව ක්‍රියා කිරීම නිසා බව මෙ රට පූජකවරු හා කිතුනුවෝ කිසි දා අමතක නො කරති. සිද්ධිය වූයේ 2001.05.10 දා ය. අදත් වගකිවයුත්තන් හෙළිව නැත. අද වන විට ආණ්ඩු කීයක් පත් විනිද?

අතීතයේ මීගොමු නගරයට, පුංචි රෝමය යැයි පටබැඳි නමක් විය. හේතු දෙකක් නිසාය. මීගොමුවේ අහස සිපගත් උස් දේවස්ථාන මොගොප්පු නිසා ය. නගරයේ අධිකම ජනගහනය රෝමානු කතෝලික වූ නිසාය.

අද මීගොමුව සර්ව ආගමිකය. සර්වජනය. සර්ව පාක්ෂිකය. වත්තල ද එ සේ ය. උතුරු නැගෙනහිර, විශේෂයෙන් මන්නාරමේ ආරාවුල් මැද, හලාවතින් පහළ ප්‍රදේශවලට සංක්‍රමණය වූ හින්දු හා ඉස්ලාමීය ආගමිකයන් වැඩි පිරිස ඉඳුම් හිටුම් සොයා ගත්තේ බස්නාහිර මුහුදුබඩිනි. මීගොමු නගරයේ හා වත්තලය.

මේ දෙප්‍රදේශ එ.ජා.ප ව ඇත්තේ අද ඊයේ නො වේ. අද වන විට සිදුව ඇත්තේ ඒ ප්‍රදේශවල කිතුනු ජනගහනය හීන වීමය. පො.ජ.පෙ හිතෛෂීන් සංඛ්‍යාව අධික වීමය. 2015 දී එජාපය මීගොමුව ජය ගෙන ඇත්තේ, වැඩි ඡන්ද 33.000 පමණි. මෙවර ජය ගෙන ඇත්තේ වැඩි ඡන්ද 12.000 පමණකිනි.

ඩී.එස්. සේනානායක 1922 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගොස් ඇත්තේ මීගොමුව ආසනයෙනි. එදා මීගොමුව ආසනයට, වර්තමාන කටාන, දිවුලපිටිය, මීරිගම හා මිනුවන්ගොඩ ප්‍රදේශ අයත්ව තිබී ඇත.

1947 නම් කළ මීගොමුව ආසනයට අද පවතින කටාන ආසනය අයත්ව තිබුණි. ඉන් පසු මීගොමු නගර සභාව හිමි වූයේ, විජයපාල මැන්ඩිස් පරපුරටය. 1960 සිට එ.ජා.ප යේ ඩෙන්සිල් පෙරේරා දිගටම මීගොමුව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. 1970 එ.ජා.ප ය පාර්ලිමේන්තුවේ අටට බසිද්දීත් ඉන් එකක් වූයේ මීගොමුවය.

කිසිම රජයක් යටතේ තම ප්‍රදේශයට වූ යහපතක් නැතැයි අප හා අදහස් හුවමාරු කරගත්, මීගොමුවේ ජ්‍යෙෂ්ඨ කිතුනු ගිහි නායකයෙකු පැවසීය. ආදියේ සිටම පැවති වතුර බැස නොයන කුණු කානු ප්‍රශ්න අදත් මීගොමුවේ තිබේ. රටේ අංක එකේ ධීවර නගරය වූ මීගොමුවට අදත් අංගසම්පූර්ණ ධීවර වරායක් නැත.

කලක සිට ප්‍රතිසංස්කරණය කරන මීගොමු මහ රෝහලේ වැඩ තවමත් අතරමගය. කොන්ත්‍රාත්කරුවන් දේශපාලන හිතවතුන් ය. මීගොමුවේ මහ උස පල්ලිවලට වඩා අද ඇත්තේ රේස් බුකිය. අනවසර අරක්කු බීර තැබෑරුම් ය. අර ෂොප් මේ ෂොප් ලෙසය. අර ක්ලබ් මේ ක්ලබ් නමිනි. බොහොමයක්, පල්ලි පාසල් අසලමය.

1990-91 සමයේ මීගොමුවේ රැඩිකල් පූජක පිරිසක් සංචාරක උවදුරට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. ඒ සමයේම කතෝලික මැති ඇමති පිරිසක් රදගුරුවරු හමුව මීගොමුවේ ඒඩ්ස් උවදුර ගැන කරුණු හෙළිකර තිබුනේය. වරක්, මීගොමුවේ, කුඩාපාඩුවේ පිරිමි ළමා ගණිකා නිවසක් පොලිසිය වටලා තිබුණි. ඒත්තුකාල පෙදෙසේ විදේශ සංචාරකයන් පසු පස යන තරුණයන් එමටය. මීගොමුවේ ජ්‍යෙෂ්ඨ කතෝලික නීතිඥ මහතෙකු ගතවූ සතියක මීගොමුවේ අලුතින් බිහිව ඇති සම්භාහන මධ්‍යස්ථාන අපට පෙන්වා දුන්නේය. සංචාරක ව්‍යාපාරයේ අතුරු අනතුරු මීගොමුව වෙළාගෙනය. මීගොමුවේ දික්කසාද නඩු එමටය. සමහරු ඉතා කෙටි කලක් පමණක් විවාහ දිවිය ගත කළ තරුණ තරුණියන්ය.

රජයේ හිටපු උසස් නිලධාරියෙක් පැවසුවේ, අද මීගොමුව මත් වෙළෙඳපොළක් පමණක් නොව, මත්ද්‍රව්‍ය විදේශවලින් ආනයනය කරන හා යළි විදේශවලට ප්‍රති අපනයනය කරන මුහුදු කොල්ලකරුවන්ගේ නගරයක් බවය. ඒ මුහුදු කොල්ලකරුවන් මීගොමුව බිය කරගෙන සිටින්නේ කලක සිට බවය. පසුව ඔවුන් දේශපාලනයට පිවිස ශුද්ධවන්ත චරිත රඟපාමින් සිටින බවය.

වත්තල, හැඳල පල්ලියවත්තේ සිට, මීගොමුවට උතුරින් තෝප්පුව දක්වා වූ ගම්මාන, ඒ දේශපාලන චරිතවලට යටව පවතින බවය. කොල්ලකරුවන් දේවස්ථානවලට අත දිග හැර ආධාර කරන බවය. හන්දි හන්දි ගානේ මුනිවර පිළි රූ ඉදිකරවා කිතුනු බැතිමතුන් මුළාකරගෙන සිටින බවය.

කොළඹ වරායට බද්ධ පෝට්සිටි ව්‍යාපෘතියට හා ඊට පෙර කටුනායක අධිවේග මාර්ගයට මුහුදුවැලි ගෙන ඇත්තේ, මීගොමුව දෙපස ධීවර ගම්මානවලට සමීප මුහුදෙනි. අද ඒ ගම්මාන බරපතළ ලෙස මුහුදු ඛාදනයට ගොදුරුව තිබේ. එසේ නො කරන ලෙස මීගොමු කිතුනු, බුදුනු, සංවිධාන වගකිවයුත්තන් ගෙන්වා ආදීනව ද පෙන්වා දී ඉල්ලීම් කර ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපති දක්වා පෙන්වා දී ඇත. කාදිනල් හිමි, කතෝලික පූජකවරු හා ක්‍රිස්තියානි දිවගැතිවරු ද ඒ බව පෙන්වා දී ඇත.

සිය ගේදොර විනාශ වීම සේම මෑත මුහුදේ මත්ස්‍ය විනාශය ඔවුන් පෙන්වා දී තිබේ. කිසිවකු හිස හිත යොමුකර නැත. මීගොමුවේ දේශපාලනයේ යෙදෙන කිසිවකු පදිංචිව සිටින්නේ මුහුදු ඛාදන ප්‍රදේශවල නො වේ. අද මීගොමුව අවට, පිටිපන, බසියවත්ත, තලාහේන වෙරළ තීරුවට එන රාජ්‍ය පාලකයකුට ඒ විනාශය මනාව දුටහැක. දැන් මීගොමුව දෙපස පමණක් නොව, දකුණින් වත්තල, හේකිත්ත සිට උතුරින් හලාවත දක්වා මුහුදු ඛාදනය පැතිර යමින් තිබේ.

දැනට යෙදෙන සිය මූලික පාලන විධිවිධාන නිම කළ පසු, ගජබා රජු මෙන් තම සහෝදරයෙකුවත් නැතිව, මීගොමුවේ සංචාරයක යෙදෙන ලෙස අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරාධනයක් කරමු.

මීගොමුවට අංගසම්පූර්ණ ධීවර වරායක් ඉදිකිරීමේ පළමු සාකච්ඡාව පවත්වා ඇත්තේ 1965 දීය. 1969 ඩඩ්ලි සේනානායක ද, 1993 – 98 ජෝශප් මයිකල් පෙරේරා ද, ඒ සඳහා උනන්දුව තිබේ.

වරක්, ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනකින් ඒ සඳහා රුපියල් බිලියන 213 වෙන් කළ බව ගම්පහ කච්චේරියෙන් අපට දැන ගන්නට ලැබුණි. ඒවා මීගොමුව දේශපාලන අධිකාරීන් විසින් තම භාරයට ගෙන ඇත. ප්‍රදේශයේ ධීවර අපද්‍රව්‍ය, ඉවතලන ඉන්ධන, මළ මුත්‍ර, වසවිස, මීගොමු කලපුව හරහා වෙරළබඩ ගම්මාන කරා පැතිර යන්නේ දිගු කලක සිටය. ඒ උවදුරු විඳින්නන් මිස, දකින්නන් නැත. වරින්වර සාමාන්‍ය පූජක විරෝධතා මතු වුවද ඒවා ඉහළ නායක බලපෑමෙන් යට ගොස් ඇත.

මේ වන විට මීගොමුව දෙපස වෙරළාශ්‍රිත කඩොලාන හෙක්ටයාර 400 පමණ ඒ වසවිස නිසා විනාශව ගොස් ය.

මහ සයුර, සිය කෝපය පළ කරන්නට සුන්දර මීගොමුව අවට ධීවර ගම්මාන විනාශ කරමින් සිටී.

මීගොමුවන් ඉවසා දරාගත නොහැකිව, ගතවූ මැතිවරණයේ දී මනාප නො පළ කිරීමෙන් හා අමනාප පළ කිරීමෙන් සිය කෝපය පළ කර ඇත.

මැල්කම් කාදිනල් රංජිත් හිමි, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ යනවා යි, සමහර කිතුනු මාධ්‍යකරුවන් හා සමාජ මාධ්‍ය ජාලා කළ චෝදනාව නම්, මී පුර වාසීන් සුන්නද්ධූලි කර දමා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here