කිසිදු අවස්ථාවක වත්මන් ආණ්ඩුව සෝෆා, එම්සීසී ගිවිසුම් අත්සන් නොකරන බව රජය අවධාරණය කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පවසයි.

පසුගිය රජය සෝෆා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම් කර තිබූ නමුත් එම කාලයේ අප විසින් සමාජයේ මතු කළ දැවැන්ත විරෝධය හේතුවෙන් එය වළක්වාගත් බවද වත්මන් ආණ්ඩුව කිසිසේත්ම මෙම ගිවිසුම් සඳහා අත්සන් නොකිරීම හේතුවෙන් එවැනි අනතුරක් රට ඉදිරියේ නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

අමෙරිකාව කැමැති වූ පමණින් එවැනි ගිවිසුමක් අත්සන් කළ නොහැකි බව පෙන්වාදෙන ඇමැතිවරයා ශ්‍රී ලංකා රජය ද ඊට කැමැත්ත පළකළ යුතු බවද ප්‍රතිපත්තියක් වශයෙන් වත්මන් ආණ්ඩුව සෝෆා සහ එම්.සී.සී ගිවිසුම්වලට විරුද්ධ බවද කියාසිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (27) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ හේතුවෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී එවැනි ගිවිසුමකට අත්සන් නොතබන නමුත් පසුගිය ආණ්ඩුව නිල වශයෙන් එම ගිවිසුම් දෙක අත්සන් කිරීම වෙනුවෙන් පෙනී සිටින බවයි. එම ගිවිසුම් හොඳ යැයි පවසමින් පසුගිය ආණ්ඩුව සමාජයේ වර්ණනා කළ බවද එම කාලයේ මේ සම්බන්ධයෙන් අවධානමක් තිබූණු බවද පෙන්වා දුන්නේය.

එදා අමෙරිකාවට මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැති රජයට ද වුවමනාව තිබූ නමුත් අද වනවිට ඇමෙරිකාවට වුවමනා තිබුණ ද ශ්‍රී ලංකා රජයට වුවමනාවක් නොමැති බවද මේ හේතුවෙන් තනි අතකින් අත්පුඩි ගැසිය නොහැකි බවද ප්‍රකාශ කළේය.

මේ අතර ඇමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මෙන්ම ඇමෙරිකාව ද කැමැත්තෙන් පසුවන්නේ නම් ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරු පිහිටුවීමට කිසිඳු බාධාවක් නැතැයි එදා පෙන්වාදුන් බවත් වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව කැමැත්තක් නොමැතිවීම හේතුවෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණිය ද එදා පැවැති අනතුරක් ශ්‍රී ලංකාවට නොමැති බවත්ය. මේ අනතුර රටේ බහුතර ජනතාවක් දුටු නිසා ම පැවැති ආණ්ඩුවට දැවැන්ත පරාජයක් උරුම කරදීමට සමත්වූ බවද ඒ අනුව අදාළ ජනවරම අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද කීවේය.