මෙම වසර සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සිසුන් 41000ක් පමණ ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, වෛද්‍ය සිසුන් පමණක් 371ක් වැඩිපුර ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

ඉකුත් 24 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි අමාත්‍යවරයා මේ බැව් පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

මෙරට වෛද්‍යවරුන්ගේ හිඟයක් තවමත් තිබෙනවා. සබරගමුව වෛද්‍ය පීඨයට 2019 ජනවාරි මාසයේ සිසුන් 70ක් ඇතුළත් කර ගන්නා ලද අතර මෙවර එය 100 දක්වා ඉහළ දැමීමට කටයුතු කරනවා. රත්නපුර රෝහලට මහාචාර්ය ඒකකයක් ලබා දීමෙන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය ගැටලූවලට පිළියම් මෙන්ම නව පහසුකම් ගණනාවක් ලබාදීමටද හැකියාව ලැබෙනවා. රජරට ශික්ෂණ රෝහල සහ මහාචාර්ය ඒකකය නිසා එම ප‍්‍රදේශයේ තිබෙන සෞඛ්‍ය ගැටලූ රැුසකට විසඳුම් ලැබී තිබෙනවා. පරීක්ෂණ සඳහා රෝගීන්, සාම්පල කොළඹට එවීමට අවශ්‍ය වන්නේ නැහැ. ලංකාවේ වෛද්‍යවරුන් පිළිබඳ ලෝකයේ විශාල පිළිගැනීමක් තිබෙනවා. ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශාල ඉදිරි පිම්මක් අපට ඇති කළ හැකියි.

මේ වෛද්‍ය පීඨයට සිසුන් 700ක් 800ක් ඇතුළත් කර ගැනීමට හැකියාව ලැබුණාට පසු ප‍්‍රදේශයේ සංවර්ධනය පවා හොඳින් සිදුවේවි. එම පීඨ සඳහා අවශ්‍ය අනෙකුත් සේවකයන්, අනධ්‍යයන සේවකයන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, සහායක කාර්ය මණ්ඩලය, ආපන ශාලා සහ වෙනත් සේවා සැපයීමට හැකියාව තිබෙනවා. ඒ තුළින් ප‍්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකයට ද විශාල පිටිවහලක් ලැබෙනවා.

මෙම අවස්ථාවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි, අමාත්‍ය ඩබ්. ඞී. ජේ. සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී වලේබොඩ, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, උපකුලපති මහාචාර්ය අතුල සී. ඥානපාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here