සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත යනුවෙන් කී විට ඔහුගේ වගතුග හෝ රූපකාය රටුන්ගේ මතකයට එන්නේ නැති බව සහතිකය. එනමුත් ‘‘මාකඳුරේ මධුෂ්’’ යනුවෙන් කීවානම් මේ මොහොතේ ඔහු ගැන නොදන්නා කෙනෙක් මේ බිමේ නැති තරම්ය. උප්පැන්නයේ හැටියට සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත යනුවෙන් නම කියැවුණු ඔහු‘‘මාකඳුරේ මධුෂ්’’ යනුවෙන් බෞතීස්ම ලැබුවේ පාතාලයේ අපරාධවලට ඔහුගේ නම ගෑවීමත් සමගය. ඔහුට පෙර මාකඳුර යනුවෙන් ගමක් පුද්ගලයෙක් නිසා ප්‍රසිද්ධියට පත්වූයේ නම් ඒ මාකඳුරේ ගුණවර්ධන කවියා නිසාය. ඒත් ඒ කවියා කුරුණෑගල පන්නල මාකඳුරේය. මධුෂ් මාතර මාකඳුරේය. මධුෂ් හැර මාතර මාකඳුරේ ප්‍රසිද්ධ චරිත තුනක් සිටියෝය. එක් අයෙක් වන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධනය. ඔහු මෙන්ම ඔහුගේ ඥාති සොයුරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු ඇමැතිවරයාත් මාකඳුරේය. දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩැනි හිත්තැටියත් මාකඳුරේය.

මාකඳුරේ මධුෂ් යනුවෙන් මුළු රටේම ප්‍රසිද්ධියට පත්වූවාට මධුෂ්ගේ උපන් ගම මාකඳුර නොවේ. ඔහු මාකඳුරට ආවේ බින්න බැස්සට පස්සේය.

මධුෂ්ගේ හරිම ගම කඹුරුපිටිය, මුලටියන පාරේ පිහිටි ගතාරේ වැලිහේන්ගොඩකුට්ටියය. කඹුරුපිටිය ටවුමට පෙනෙන කන්ද වැලිහේන්ගොඩකුට්ටියයි. එනමුත් එම ගමට යා යුත්තේ ගතාරේ නාරන්දෙණියෙන් හැරී බැරගම්මුල්ල පාරේය. වැලිහේන්ගොඩකුට්ටිය මධුෂ්ගේ අම්මාගේ ගමය. මධුෂ්ගේ තාත්තා වූ සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන්ගේ ගම ඇඹිලිපිටියය. ලක්ෂ්මන් විවාහ වූයේ මාලනී සමරසිංහ සමගය. එම යුවළට දියණියක හා පුත්තු දෙදෙනෙක් සිටියහ. බාල පුතා නිරෝෂන් ලක්ෂිතය. වැඩිමලා මධුෂ්ය. ඔහු උපන්නේ එක්දහස් නමසිය හැත්තෑ නවයේ පෙබරවාරි විසිහතර වැනිදාය. එසේ බලන විට මැරෙන කොට මධුෂ්ගේ වයස අවුරුදු හතළිස් එකකි.

‘‘මධුෂ්ලාගේ මහ ගෙදර තිබුණේ කඳු ගැටයකට පහළ කුඹුරු යාය’’ ගෙදර පැත්තක අතින් වතුර ගන්න පුළුවන් පොඩි ළිඳක් තිබුණා. කුඹුරු වැඩ කරන කාලයට හැමෝම වතුර බිව්වෙ ඒ ළිඳෙන්. ඒ කාලේ මධුෂ් පොඩි දරුවෙක්.

නම හෙළි නොකිරීමේ එකඟතාව මත අපට කතා කළ ගැමියෙක් එසේ කීවේය.

මධුෂ් මියගියද ඔහු ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නට වැලිහේන්ගොඩකුට්ටියේ ගම්මුන්ගේ කැමැත්තක් නැත. ඒ මධුෂ්ට ඇති අකැමැත්ත නිසා නොවේ. උපන් ගමේම මිනිස්සුද, බින්න බැස්ස ගමේ මිනිස්සුද ඔහුට කැමැතිය.

‘‘ඒත් අහක යන දේවල්වලට අපි පැටලෙන්නේ මොකටද?’’ ගම්මු හිතන්නේ එහෙමය.

ගම්මු කියන හැටියට මහ විපතක මුල ඇරඹුණේ මධුෂ්ගේ අම්මා මාලනිගේ මරණයත් සමගය.

මධුෂ්ගේ අම්මා වූ මාලනී සමරසිංහ මැරුණේ නැත. මරා දැම්මේය. අසූඅට අසූනවය භීෂණ සමයේ උල්ලල, කහගල ඉස්කෝලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය රැස්වීමක් සංවිධානය කර තිබිණි. එකල රජයේ තහනමට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය හැඳින්වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනුවෙනි.

‘‘රෑ අපට තුණ්ඩු කෑලි ලැබුණා. කහගල ඉස්කෝලේ රැස්වීමට අනිවාර්යයෙන්ම එන්න කියලා. නොගියොත් ඒ අයගෙන් මැරුම්කන්න වෙනවා. ගියොත් හමුදාව අපි ජවිපෙ කියලා අල්ලන් යනවා. මේ නිසා රැස්වීමට වැඩියෙන් ගියේ ගෑනු. පිරිමි හමුදාවට බයේ එන්නේ නෑ. එදා දවස මට තවමත් මතකයි. හමුදාව එම රැස්වීමට ගිය අයට වෙඩි තිබ්බා. මට මතක හැටියට තුන්හතර දෙනෙක් මැරුණා. ඒ මැරුණු අය අතරේ ඔය මධුෂ්ගේ අම්මා මාලනී අක්කත් හිටියා. හමුදාව වෙඩි තියෙනකොට ගම්මු සී සීකඩ දිව්වා. මාලනී අක්කා රබර් ගස් ගලවපු වළකට වැටුණා. එයාගේ මිනියවත් ගන්න හමුදාවෙන් ගමේ අයට ඉඩ දුන්නේ නෑ. හමුදාව හිතුවේ මාලනී අක්කා ජේ.වී.පී. කාරියක් කියලා. නමුත් එදා මාලනී අක්කා රැස්වීමට ගියේ තුණ්ඩු කෑල්ලට බයේ. එසේ කියන්නේ වැලිහේන්ගොඩකුට්ටිය ගමේ මැදිවියේ කාන්තාවකි.

මාලනීගේ අකල් මරණයෙන් පසු ලක්ෂ්මන් තවත් විවාහයක් කර ගත්තේය. දෙවැනි විවාහයත් සමග ලක්ෂ්මන්ගේ අතින් දරුවන් ගිලිහී බිමට වැටුණේය. එතැන් සිට මධුෂ්ලා බලා ගත්තේ නෑ සනුහරේය.

මාකඳුරේ මධුෂ් ලෙස මුළු රටම හෙල්ලුවද පැටි වයසේ ඔහුට ගෙදර හුරතලේට කීවේ ‘මානපාලය’. ගම්මුන්ට ඔහු ‘වාසනා’ විය. මධුෂ්ගේ මල්ලි ලක්ෂිත ගමේ කොල්ලන්ට ‘කට්ටා’ විය. මධුෂ්ගේ පාසල් සඟයන් කියන හැටියට ඉස්කෝලේ යන කාලේ ඔහු බොහෝ ලස්සනය.

පාසල් යන ගැටවරයෙකුට රස්තියාදු ගහන්නට සම වයසේ මිතුරන් සිටියද මධුෂ්ට ඒ කාලයේ බජාර් යාළුවෝ සිටියේ නැති බව ඔහුගේ සමීපතයෙක් කීවේය. ඉන් දශක දෙක තුනකට පසු මධුෂ් මුළු රටම හෙල්ලූ චරිතයක් විය. ගෝනවල සුනිල්, නාවල නිහාල්, කඩුවෙල වසන්ත, බැද්දේගාන සංජීව, සොත්ති උපාලි වැනි පාතාලේ ගෝඩ් ෆාදර්ලා අඩි හයක් පොළොව යට වැළලී යාමෙන් පසු ඔවුන්ගේ හිස්තැන පුරවන්නට ආවේ මධුෂ්ය. එතැන් සිට ඔහු ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුව ලද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වූවේය. එහෙත් කඹුරුපිටිය, නාරන්දෙණිය මැදි විදුහලට යන කාලේ ඔහු ගැන දැන සිටියේ නම් ඒ, දෙතුන්දෙනෙක් පමණය.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලනය කරමින් 2015දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් තරග කර මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ නිරෝෂන් ප්‍රේමරත්න මධුෂ්ගේ පාසල් මිතුරෙකි. මධුෂ්, නිරෝෂන්ට වඩා වසර හතරක් වැඩිමල්ය. මධුෂ්ගේ සබඳතාව ගැන, මන්ත්‍රීවරයා ගැන රටේ කතාබහක් ඇතිවූයේ මධුෂ්ගේ තාත්තාගේ මළගමට ඔහු ගිය බැවිනි. දෑ අවුරුද්දකට ඉහතදී මධුෂ්ගේ තාත්තා ලක්ෂ්මන් මියගියේ රිය අනතුරකිනි. කළුතර පැවැති එම මළගමට ගුවනින් මල් ඉස්සේය. මධුෂ් අන්තර්ජාලය හරහා ඩුබායි සිට මළගම නැරඹුවේය. මධුෂ්ගේ තාත්තාගේ මළගමට යාම ගැන නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා කීවේ, ගමේ මනුස්සකමට තමා මළගෙදරට ගිය බවය. මධුෂ් පමණක් නොව තමාගේ ඕනෑම යහළුවකුගේ මළගෙදරට යාම තම සිරිතක් බවත් මධුෂ් මැරුණත් තමා ඔහුගේ මළගෙදරට යන බව නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා එකල පාර්ලිමේන්තුවේදී කීවේය. ඒ මධුෂ් සමග තමාට සබඳතාවක් ඇති බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමිනි.

එදා කියූ හැටියට ඔහු තම ඉස්කෝලේ මිතුරාගේ මළගමට ගියේදැයි විමසීමට නිරෝෂන් ප්‍රේමරත්න හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් මධුෂ් ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ දක්වා පමණි. ඉන්කිබිතිව ඔහු ජංගම ලී ඉරන පට්ටලයක් දැම්මේය. ඉන් ආර්ථිකයට සවියක් නොලැබුණු විට රස්සාවක් කිරීමට කල්මුණේට ගියේය. ඒ කඹුරුපිටියේ ගමේ අයකු දමා තිබූ මෝටර් සයිකල් වැඩපළකය.

දෙමළ බස ඉගෙන ගත්​තේ කල්මුණේදීය. එකල කල්මුණේට අවි ආයුධවලින් අඩුවක් නොවීය. ඒ කොටින්ගේ ආයුධ හොර පාරෙන් කල්මුණේදී විකිණෙන බැවිනි. තරුණ මදය හිස ගසා තිබූ මධුෂ් ටී-56 ගිනි අවියක් හා අත්බෝම්බයක් රැගෙන කල්මුණේ සිට කඹුරුපිටියට ගෙනා බව කියවුණි. ඒ ගැන අගුපිල් ගානේ කයිවාරු ගැසූ ඔහු ගැන පොලිසියට ආරංචි වන්නේය. ඔහු මුල් වරට අත්අඩංගුවට පත්වන්නේ එම සිද්ධියට බව ගම්මු කියති.

මධුෂ් මුලින්ම ප්‍රසිද්ධියට පත්වන්නට පටන් ගත්තේද මාකඳුරෙන් නොව කඹුරුපිටියෙනි. ඔහු මාකඳුරේ මධුෂ් ලෙස බෞතිස්ම ලැබුවේ මාකඳුරෙන් තරුණියක් විවාහකර ගැනීමෙන් පසුවය. එතැන් සිට ඔහුගේ පදිංචිය මාකඳුරේ විය. ඔහුගේ නිවස පිහිටියේ මාකඳුරේ තුන්මං හන්දියෙන් තලහගම පාරට හැරී ටික දුරක් යන විටය.

මධුෂ් කඹුරුපිටියෙන් මාකඳුරට බින්න බහින්නේ 98 දී පමණි. මධුෂ්ගේ නිත්‍යනුකුල බිරිඳ ගයනි මුතුමාලගේය. ඇය එකල ආණ්ඩුවේ ඉස්පිරිතාලයක උපස්ථායිකාවක් ලෙස රැකියාව කළාය. ඒ අතරේ මධුෂ් කඹුරුපිටිය ටවුමේ ත්‍රීවිල් රස්සාව කළේය. ට්‍රැක්ටර් එළෙව්වේය. කුලී වැඩ කළේය. එහෙම හිටපු මධුෂ් පාතාලේ ගෝඩ් ෆාදර්වරයෙක් වී මුළු රටටම හෙරොයින් බෙදමින් මිනීමරුවෙක් වුණේ කොහොමද? මාකඳුරේ ගම්මු කියන විදිහට ‘ඩැනි මහත්තයා’ මධුෂ් සමග සිල්ලර ප්‍රශ්නයකට ගැටුමක් ඇතිකර ගෙන තිබිණි. ඩැනි මහත්තයා සමග ඇතිවූ ආරෝව මධුෂ්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය.

මාකඳුරේ ගම්මු ‘ඩැනි මහත්තයා’ යනුවෙන් හඳුන්වන්නේ දකුණු පළාත් සභාවේ හිටපු ග්‍රාම සංවර්ධන හා ප්‍රවෘත්ති ඇමැති ඩැනි හිත්තැටියය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක්ද වන ඔහු පසුකලෙක දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයද දැරුවේය.

මධුෂ් මාකඳුරේ සර්විස් සෙන්ටර් එකක් පටන් ගන්නට ඉඩමක් සුද්ද කළේය. ඒ වැඩේට ඩැනි මහත්තයාගේ මස්සිනා වළ කැපූ බවට ගම්මු කියති. මධුෂ්ට ඔළුව උස්සන්නට ගමේ ප්‍රභූන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

අන්තිමේදී ඩැනි මහත්තයා නටන ඕනෑම සෙල්ලමකට මධුෂ්ද ලෑස්ති වූවේය. ඒ වන විට ඔහු කඹුරුපිටිය ටවුමේ පුංචි පහේ මැරයෙකි. කඩවලින්ද බස්වලින්ද කප්පම් ගත්තේය. චණ්ඩිකම නිසා ටිකින් ටික නහර ඉළිප්පෙමින් සිටි මධුෂ් ප්‍රසිද්ධ මිනීමරුවෙක් වන්නේ ඩැනි මහත්තයාගේ ඝාතනයත් සමගය.

ගම්මු කියන විදියට ඔහු හිටපු ඇමැතිවරයා මරන්නේ දේශපාලන ප්‍රශ්නයක් නිසා නොවේ. හිටපු ඇමැතිවරයාගේ ඥාතිවරියක මධුෂ්ගේ පුතාට බැණ වැදී තිබේ. ඉන් කෝපයට පත්වන මධුෂ් ඇයට බැණ වැදී තිබේ. මේ සිද්ධිය දැනගත් හිටපු ඇමැතිවරයා සිය ගල්කටස් තුවක්කුව රැගෙන මධුෂ්ගේ නිවසට පැමිණ අහසට වෙඩි තබා තර්ජනය කර තිබේ. එම මොහොතේ මධුෂ් සිටියේ දරුවාට බත් කවමිනි. ‘‘උඹ ​බොරුවට අහසට වෙඩි තියනවා. ඒත් මම උඹට වෙඩි තියන්නේ ඇත්තටම. මේ වෙලාවේ උඹට වෙඩි තිබ්බොත් දරුවාට සාක්ෂි දෙන්න වෙන නිසා මම වෙඩි තියන්නෙ නෑ’’ යනුවෙන් මධුෂ් ඒ මොහොතේ ඩැනි හිත්තැටියට පැවැසූ බව ගම්මු කියති. එම සිද්ධිය එතැනින් නතර වූයේ නැත. යුද හමුදාවෙන් පැනගිය සෙබළකු වන කමාන්ඩෝ නිශ්ශංක අතින් ඩැනි හිත්තැටිය ඝාතනයට ලක්විය. කුලී මිනීමරුවකු වන ඔහුට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව දුන්නේ මධුෂ් බව චෝදනා එල්ල විය. ඩැනි හිත්තැටිය ඝාතනය වන්නේ දෙදහස් හයේ ජුනි එකොළොස් වැනිදාය.

ඉන් පෙර 2002 නොවැම්බර් 29 වෙනි දින ජීවිතයේ ප්‍රථම වරට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබීය. ඒ මාවරල ප්‍රදේශයේ ඒ. අබේසිංහ නමැත්තෙකුගේ මරණය සම්බන්ධයෙනි. පසුව 2004 වසරේ ජුලි 17 වැනිදා මාවරල ප්‍රදේශයේම පදිංචි ගමගේ විජේතුංග නමැති පුද්ගලයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල විය. එහෙත් මෙම චෝදනා දෙකෙන් මධුෂ් නිදහස් වූයේ ඔහුට එරෙහි සාක්ෂි දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙනි.

මැරකම්වලට හිරේ ගිය මධුෂ්ට හිරගෙදරදී අලුත් මිතුරු සමාජයක් හමුවිය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කුලී මිනීමරුවන්, පාතාලයන් ඇතුළු ඕනෑම මාදිලියක චරිත එහි විය. ඔවුන්ගේ පිහිටෙන් මධුෂ් මාකඳුරේ මධුෂ් ලෙස සාතන් ගිය පාරේම ගියේය.

මේ අතරේ මධුෂ්ගේ මල්ලි නිරෝෂන් ලක්ෂිත සුදුවෑන් රියකින් පැහැරගනු ලැබීය. නිවස ආසන්නයේදී පැහැරගනු ලැබූ ලක්ෂිතට වෙඩි තබා මරා දමා සිරුර මාතර කඹුරුපිටිය පාරේ දමා ගොස් තිබිණි. මධුෂ්ගේ අම්මාත් මරා දැම්මේය. මල්ලිත් මරා දැම්මේය. මල්ලිගේ මිතුරා වන කඹුරුපිටියේ සපුගොඩ හර්ෂත් මරා දැම්මේය. හර්ෂගේ ඝාතනය පාතාලේ ක්‍රියාවක් විය. ඊට චෝදනාව එල්ල වූයේ රණාලේ සමයංටය. බන්ධනාගාර බස් රියකින් රැගෙන යමින් සිටි සමයං ඇතුළු හයදෙනෙක් කළුතරදී ඝාතනය කරන්නේ හර්ෂ මැරූ පළිය ගන්න බවට සඳහන්ය. එම ප්‍රහාරය මග රැක සිට එල්ල කළ කොමාන්ඩෝ ප්‍රහාරයක් වැනිය. ආරක්ෂක අංශ පවා මෙම ප්‍රහාරයෙන් තිගැස්සීමට ලක්විය. එන්න එන්නම මාකඳුරේ මධුෂ්ගේ නම ඉදිරියෙන් ඝාතන දුසිම් ගණනක් ලියැවුණි. එහෙත් මේ එක ඝාතනයක්වත් ඔහු කරවූ ඒවා මිස කළ ඒවා නොවේ. මේ ඝාතන සියල්ල වන විට ඔහු සිටියේ ඩුබායි නගරයේය.

ඔහු එහි ගත කළේද කුමර දිවියකි. සල්ලිද බිරියන්ද අඩු නොවීය. ඔහුට උපකාර කළ මාතර, කඹුරුපිටියේ යාළු මිතුරන්ට සංග්‍රහ කරන්නට මධුෂ් ඔවුන් ඩුබායි වෙත ගෙන්වා ගත්තේය. කලකට ඉහතදී මධුෂ්ගේ බිරියත් දරුවත් ඒ නුවරට ගෙන්වා ගත්තේය.

එහෙත් මධුෂ්ගේ නීත්‍යනුකුල බිරිය යළිදු වරක් මාකඳුරේ ගෙදරට ආවාය. තාත්තා ළඟ සිටි පුතාද ලංකාවට ආවේය. එතැන් සිට මධුෂ්ගේ නිත්‍යනුකූල බිරිඳ වෙන දේ බලාගෙන සිටියාය. මධුෂ්ට දාව ඇයට උපන් පුතාගේ දැන් වයස අවුරුදු දාහතකි. ගම්මු කියන ආකාරයට ඇය ජීවත් වූයේ මධුෂ්ගේ සල්ලිවලින් නොවේ. අක්කර භාගයක තේ ඉඩමෙන්ද, කුඹුරුවල ආදායමෙන් ද ඇය ජීවත් වන්නීය. ගමේ ගොඩේ මඟුලකට, මරණෙකට ඇය සහභාගි වී උදව් උපකාර කරන ඇත්තියකි. සැමියා රට හෙල්ලූ චණ්ඩියෙක් වුවත් ඇයගේ දිවිපෙවෙත දැහැමෙනි. මධුෂ් සිය සැමියා යැයි ඇය කියන්නටවත් යන්නේ නැත. කොටින්ම කියනවා නම් මධුෂ් මියගිය පසු ඔහුගේ මෘතදේහයේ නීත්‍යනුකූල භාරකාරිය ඇය වුවත් ඇය සැමියාගේ දේහය මධුෂ්ගේ දෙවැනි බිරිය දිලිනි ඉෂාරාට දී පැත්තකට වූවාය. මධුෂ්ගේ දෙවැනි බිරිය, පාතාලේ සාමාජිකයෙක් බව කියන කළු තුෂාරගේ බිරිඳය. මධුෂ්ගේ ගෝලයෙක් බව කියන කළු තුෂාර 2012-11-9 දා වැලිකඩ බන්ධනාගාරයේ වූ කැරැල්ලේදී ඝාතනය විය. ඉක්බිතිව මධුෂ් ඔහුගේ බිරිය ඩුබායි වෙතට ගෙන්වා ගත්තේය. ඔහුට දාව ඇයට දැරියක සිටී. මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වන්නේ එම දැරියගේ උපන්දින සාදයේදීය.

මධුෂ් ගැන කුමන චෝදනා එල්ල වුවත් මාකඳුරේ ගම්මු කියන කතාවක් ඇත්තේය.

‘‘එයා රටට කුඩු බෙදන්න ඇති. ඒත් ගමේ කාටවත් කුඩු බෙදන්න ඉඩ දුන්නේ නෑ. ගමේ කවුරුවත් එයාගේ බිස්නස් එකට සම්බන්ධ කරගත්තෙත් නෑ. මධුෂ්ගේ නම කියලා ගම්මුන්ට චණ්ඩිපාට් දාන්න කාටවත් ඉඩ දුන්නේ නෑ. ගමට කුඩු ආවේ මධුෂ් පොලිසියෙන් ඇල්ලුවාට පස්සෙ.’’ ගම්මු කියන මේ කතාව අනුව මධුෂ්, ලෝකෙට මරගාතේ වුවත් ගමට පරකාසේ චරිතයකි.

ඔහු සිය පවුලේ වූ තුන් මරණ වෙනුවෙන් පිං අතේ වැඩක්ද කළේය.

එම තුන්දෙනාටම පින් පිණිස මධුෂ් මාතර, කිරින්ද, පුහුල්වැල්ල ශ්‍රී මණ්ඩාලාරාමයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යහමින් මුදල් වියපැහැදම් කළේය. එම ගොඩනැගිල්ල විවෘත කෙරුණේ දෙදහස් දහඅටේ දෙසැම්බර් මස විසිදෙවැනිදාය. ඒ වෙනුවෙන් විවෘත කෙරුණු සමරු ඵලකයේ සඳහන් වන්නේ මෙසේය.

‘‘සමරගිරි ‘ගතාර’ කඹුරුපිටියේ විසූ නැසී ගිය එකම පවුලේ පියා, මව හා පොඩි පුතු සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන්, මාලනී සමරසිංහ, සමරසිංහ ආරච්චිගේ නිරෝෂන් ලක්ෂිත යන උපාසක උපාසිකා මාතාවන්ට පිං පිණිස මෙම දෙමහල් ගොඩනැගිල්ලෙන් යුත් ධර්ම ශාලාව, ආවාසගෙය, දාන ශාලාව එම පවුලේ ‘ලොකු පුතා’ ඇතුළු පවුලේ සැම විසින් හද බැතියෙන් සඟ සතුකොට පූජා කරන ලදී’’ යනුවෙනි. එහෙත් මෙම පිංකමේ කවුරුවත් ලොකු පුතා ගැන කතා කළේ නැත. හාමුදුරුවෝ ලොකු පුතාගේ නම කීවේ නැත. එහෙත් ගමේ හැමදෙනාටම මේ කියන ලොකු පුතා කවුදැයි රහසක් නොවීය.

පන්සල්වලට පමණක් නොව මධුෂ් කඹුරුපිටියේ හා මාකඳුරේ ගම්මුන්ටත් උපකාර කර ඇති බව සඳහන්ය. මධුෂ්ගේ වැඩියෙන්ම උදව් ගත්තේ මාතර ප්‍රකට දේශපාලනඥයෙක් බව ප්‍රකට රහසකි.

‘‘මධුෂ් කියන්නේ කොම්පැනියේ නම. ඒත් බිස්නස් කරලා ලාභ ගත්තේ වෙනත් පිරිසක්. ඒ නිසා මධුෂ් මැරුවා කියලා මහ ලොකු වෙනසක් නෑ. ඒ අය බිස්නස් කරන්න අලුත් කොම්පැනියක් සොයා ගනීවි’’ ගැමියෙක් අප සමග කීවේ පසුගිය කාලයේ මධුෂ් හා එම දේශපාලනඥයා අතර තිබූ සබඳතාව විග්‍රහ කරමිනි. ඒ කතාවේ හැටියට ඵලය දැන් නසා ඇත්තේය. එහෙත් හේතුව තවමත් යහතින් වැජඹෙන්නේය.

උපුටා ගැනීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here