සටහන  “තිලක් දෙමටමල්පිටිය”  (උපුටා ගැනීමකි )

“ජයග්‍රහණයට පියවරු රැසක්- එහෙත් පරාජය අවජාතකයි” යනුවෙන් කියමනක් තිබේ. 2020 ජනාධිපතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම කවරේදැයි දැන් පශ්චාත් මරණ පරීක්ෂණ තබා ඵලක් නැති වුවද, එක්සත් ජාතික පක්ෂය වරද්දා ගත්තේ කොතැනදැයි සොයා බැලීම වරදක් නොවේ.

2015 දී වත්මන් රජය පත් වු දින පටන් පසුගියදා ජනාධිපතිවරණය අවසන් වූ දින දක්වා වූ වසර පහක කාලය ගෙන බැලු විට ආණ්ඩුව ගමන් කළේ අවරෝහණ පිළිවෙළටය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සැබවින්ම නොකළ එකම දෙය නම් ආණ්ඩුව නොකිරීමයි. නැතහොත් දේශපාලනය නොකිරීමයි. ආණ්ඩුවේ මැති ඇමැතිකම් ගත් සියලු දෙනා කටයුතු කළේ හරියට රජයේ නිලධාරින් පිරිසක් සේ සිතා ගනිමිනි.

වහලය හදා ගැනීමට ලියුම් 338 ක් සජිත්ට ලියූ කතක්..
——————————–
මහජනතාව විශේෂයෙන් ඔවුන්ට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයින් යම් යම් කාරණා ඉටු කර ගැනීමට ඇමැතිවරුන් හමුවීමට පැමිණි කළ ඔවුන්ව එළවා ගත්හ. රජයේ චක්‍ර ලේඛවලට මුවා වෙමින් “ඕවා ඉටු කළ නොහැකි යැ” යි පවසමින් එම ඉල්ලිම් මහජනතාවට ඉටු කර නුදුන්හ.

මම එක් උදාහරණයක් කියමි. එක්සත් ජාතික පක්ෂයට බෙහෙවින් උදව් කළ එක්තරා කාන්තාවක් තම නිවසේ වහළය සකසා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ලිපි 338ක් 2015 සිට යොමු කර තිබුනාය. එහෙත් ඔහුගේ නිලධාරින් එකෙක් හෝ ඇයගේ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාරයක් නුදුන්නේය. අවසානයේ ඇය හැඬූ කඳුලින් ප්‍රකාශ කර සිටියේ නැවත එක්සත් ජාතික පක්ෂයට තමන් හෝ තමන්ගේ පවුළේ කෙනෙක් ඡන්දය නොදෙන බවයි.

අකිල විරාජ් කළ වැරදි…
——————————–
මේ අන්දමින්ම අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා හමුවීමට යන එක්සත් ජාතික පාක්ෂිකයින් හට සෑම බදාදා දිනකම අසන්නට ලැබුනේ එකම පිළිතුරකි. එක් එක්සත් ජාතික පාක්ෂිකයෙක් තම දරුවාට පාසලක් ලබා ගැනීම 42 වතාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇමැතිවරයා හමුවීමට ගියේය. එහෙත් ඒ හතලිස් දෙවතාවේම ඔහු පන්නා දැමුවේය.

මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට සහන ලබා දීමට පත් කරන ලද කමිටු වාර්තා විධිමත් නොවු නිසා එම වන්දි දිනෙන් දිනම කල් ගියේය. අමාත්‍යාංශවල ලේකම්වරු හා වෙනත් නිලධාරින් වන්දි නොගෙවීම සම්බන්ධව කිසිදු ඇමැතිවරයෙක් අවධානය යොමු නොකෙළේය.

අමාත්‍යවරයා කාර්යාලයට එන තෙක් බලා සිටි මහජනතාව අසළට එන ඔහුගේ නිලධාරියෙක් පවසන්නේ ඇමැතිතුමා හමුවීමට ආවේ ඉස්කෝළවලට ළමයින් දාගැනීමට හා රජයේ රැකියා ඉල්ලීමට නම් ඒ අය ඉවත් ව යන ලෙසයි. ඇමැතිවරයා ඒ සඳහා කටයුතු නොකරන බවත් රජයේ රැකියා බඳවා ගන්නා අවස්ථාවක දී ඉල්ලුම් කරන ලෙසත් එකී සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් පවසයි.

ඇමැතිවරයා හමුවීමට පැමිණි මහජනතාව සියලු දෙනා ඉවත්ව යයි. එක් අයෙක්වත් මහජන දිනය දා ඉතිරි වන්නේ නැත. මක්නිසාද යත් එකී කාරණා දෙකට අදාලව විනා අධ්‍යාපන ඇමැතිවරයා හමුවීමට මහජනතාව යන්නේ අහවල් කෙංගෙඩිය කන්ඩ දැයි විමසිය යුතුය.

හැරිසන්ලා රාජිතලා කළ වැරදි..
——————————–
මේ අන්දමින්ම සෙසු ඇමැතිවරුන් සියලු දෙනාම ගත් කළ ඒ එක් අයෙක්වත් තම අමාත්‍යාංශ තුළින් මහජනතාව උදෙසා කැපී පෙනෙන යමක් කළේ නැත. හැරිසන්ට හරියට පොහොර ටික හෝ බිත්තර වී ටිකවත් බෙදා ගැනීමට නොහැකි විය. දැවැන්ත අමාත්‍යාංශයක් ලැබුනද ඔහු කිසි දෙයක් කළේ නැත. සෞඛ්‍ය අමාත්‍යවරයා කරපු තරමක් කළේ රජයේ නිලධාරින් සමග ගැටුම් ඇති කර ගැනීමය. එක් වරෙක වෛද්‍යවරු සමග ගැටුම් ඇති කර ගන්නා ඔහු තවත් වරෙක හෙදියන් සමග ගැටුම් ඇති කරයි. එම හේතුවෙන් අඩුම තරමින් මහජනතාවට සිදුවන්නේ සතියකට එක් දවසක් හෝ වෛද්‍ය ප්‍රතිකාර නැතිව සිටින්නට සිදුවිය.

ප්‍රවාහනය බාර අමාත්‍යවරයා ද කිසිදු කටයුත්තක් කළේ නැත. දුම්රිය වැඩවර්ජනය පැවැති අවදියේ එම දින 12 තුළ මහජනතාව විඳි දුක් කන්දරාව නිමක් නැත. එහෙත් එය විසඳීම සඳහා කිසිදු ඇමැතිවරයෙක් ඉදිරිපත් වුයේ නැත. අවසානයේ වැඩවර්ජනය කළ වුන්ටම වැඩ වර්ජනය එපාවිය. නමුත් මේ හේතුව නිසා මහජනතාවට ආණ්ඩුව එපා වීම පුදුමයක් නොවීය.

අනෙක් කාරණය නම් සයිටම් ගැටළුව පැවැති අවදියේ දිනපතා කොළඹ ඉළක්ක කර ගනිමින් උද්ඝෝෂණ බහුල විය. මහජනතාව වැඩ ඇරී නිවෙස් බලා යන විට ආරම්භ කෙරෙන මේ උද්ඝෝෂණ හේතුවෙන් පැය ගණන් වාහන පෝළිම් කොළඹ නගරයේ සුලභ දසුනක් විය.

අනෙක් අතට එක්වරම ඉන්ධන හිඟ ඇතිවෙයි. මහජනතාව පැය ගණන් පෝළිම්වල සිට ඉන්ධන ලබා ගනියි. එහෙත් ඛනිජ තෙල් බාර ඇමැතිවරයා කිසිදු හාවක් හූවක් නැත. මහජනතාව ආණ්ඩුවට පස් පඩව්වේ බැන වදිති. අන්තිමට මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබිය දී ගෑස් හිඟයක් ද ඇති විය. ඇමැතිවරු එය රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් කියා අත සෝදා ගත්හ.

එපමණක් නොව හොරු අල්ලන්නට යැයි ආ ආණ්ඩුව හොරුන් විසින් අල්ලා ගන්නා තෙක් ආණ්ඩුව කිසිවක් දන්නේ නැත. 2015 මැතිවරණ වේදිකාවේ හොරකම් මැරකම් ගැන පළු පැළෙන්නට කතා කළත් අල්ලපු හොරෙක් නැත.

මාධ්‍යවේදීන් බයිට් එකට ගත්තා පමණි..
——————————–
මාධ්‍යවේදීන්ගේ මරණ, අතුරුදහන් කිරීම්, පහරදීම් මාධ්‍ය ආයතන ගිනිතැබීම් ගැන වේදිකා දෙදරෙව්වත් ඊට වගකිව යුතු කිසිවෙක් ඇල්ලුවේ නැත. ලංකා ඊ නිව්ස් ගිනිතැබීම වැනි සිදුවීම් ගැන අඩු ගණනේ පරීක්ෂණයක් ආරම්භ කෙළේ නැත. ඇමැතිවරු කෝටි 3 4 වටින වාහන ගත්තද එක මාධ්‍යවේදියෙකුට මාධ්‍ය ආයතනයකට සත පහක වන්දියක් ගෙව්වේ නැත. යලිත් මේ චන්දෙදිත් ඔවුන්ගේ නම් ගම් විකිණීම මිනිසුන්ටත් මාධ්‍යවේදීන්ටත් විහිළුවක් විය. අවසාන තත්පරයේ දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට නඩු දැම්මත් පලක් වූයේ නැත.

විශේෂ අධිකරණ පිහිටුවන බව කිව්වත් ඉන් සිදු වු සෙතක් නැත. අල්ලස් හෝ දූෂණ කොමිසම ට පත් කළ ප්‍රධාන නිලධාරිනියම අවසානයේ තමන් කළේ වැරැද්දක් යැයි පාපෝච්චාරණය කළාය.

2015 ආණ්ඩුව බලයට පත්වී මාස කිහිපයක් යනවිට ශාලාව අවි ගබඩාව පුපුරා ගොස් මෑත කාලයේ සිදු වු දැවැන්තම ඛේදවාචකය සිදුවිය. එහෙත් ඒ ගැන කිසිදු විමර්ශණයක් සිදු නොකළේය. කුනුකන්ද කඩා වැටී ජීවිත හතලිස් ගණනක් බිළි ගත්තේය. ඒ ගැන කිසිදු විමර්ශනයක් සිදු නොවීය. පාස්කු ප්‍රහාරය නිසා ජීවිත 350ක් පමණ විනාඩි පහලොහක් පමණ කාලයක දි විනාශ වුයේය. රටේ සංචාරක කර්මාන්තය බින්දුවට ම වැටුනේය. එහෙත් ඒ ගැන නිසි විමර්ශනයක් සිදු නොවුවා මෙන්ම එකිනෙකා තම තමන්ට දොස් පවරා ගත්තේය.

ජනාධිපතිවරණය ජයගැනීමට කිසිදු හේතුවක් රජයට නොතිබිනි..
——————————–
අනෙක් කරුණ නම් 2019 ජනාධිපතිවරණය ජයගැනීමට කිසිදු හේතුවක් රජයට නොතිබිනි. මේ රජයට ඡන්දය දිය යුතු යැයි සාධාරණීකරණය කළ හැකි එකම දෙය නම් යහපාලනය ස්ථාපිත කිරීම සඳහා පිහිටුවන ලද කොමිෂන් සභා කිහිපයයි. මැතිවරණ කොමිසම නිසා 2015 ජනාධිපතිවරණය මෙන් නොව බියෙන් සැකෙන් තොර යහපත් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට රජයට හැකිවිය. එය එක් අතකට ජනතාව ලැබූ ජයකි. නමුත් එහි වාසිය වත් ගැනීමට රජය නොදත්තේය.

රජය අවස්ථා ගණනාවක දී රාජ්‍ය සේවක වැටුප වැඩිකළ සැබෑය. එහෙත් රජය කිසිදු විටෙක දේශපාලනය නොකිරීම නිසා එහි වාසිය ගත්තේ නැත. මෙවර ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සේවකයින්ගෙන් සියයට 80කටත් වඩා රජයට එරෙහිව ඡන්දය භාවිතා කළේය.

බිම් මට්ටමේ දේශපාලනය නොකිරීම..
——————————–
අනෙක් කාරණය වන්නේ රජය බිම් මට්ටමේ දේශපාලනයට අවතිර්ණ නොවීමයි. 2019 ජනාධිපතිවරණය ජයගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තම සංවිධාන කටයුතු ආරම්භ කළේ 2015 තමන් පැරදුන දින සිටය. රාජපක්ෂ මහතා එතැන් පටන් සෑම විහාරයකටම ගියේය. මහසංඝරත්නය හමු වුයේය. උන්වහන්සේලා සමග සාකච්ඡා කළේය. රජයේ අඩුපාඩු විවේචනය කළේය.

මෙම රජය මහජනතාවට දුන් බදු බර හේතුවෙන් මිනිසුන්ට කට උත්තර නැතිවිය. අවසානයේ ජනතාව පිට නොපටවන ලද්දේ සුද්දාගේ කාලයේ මෙන් බලු බද්ද හා තණකිරි බද්ද පමණි. එක් අතෙකින් රට ආර්ථික වශයෙන් කඩා වැටෙමින් තිබිය දී ඒ සඳහා කිසිදු පියවරක් ගත්තේ නැත. මහජනතාව අන්ත අසරණභාවයට පත්ව ජීවත් විය.

කූමන්ත්‍රණය ජය ගැනීමෙන් පසු පාක්ෂිකයා අමතක කළේය..
——————————–
රජය විසින් සිදු කළ යම් යම් සංවර්ධන යෝජනා ක්‍රමවල ප්‍රචාරක වාසිය ලබා ගැනීමට රජයට යාන්ත්‍රණයක් නොතිබිනි. ඒ හේතුවෙන් මෙම රජය නිකමුන්ගේ රජයක් යැයි මහජනතාව චෝදනා කළහ. එහි අවසාන ඵලය වූයේ 2018 ඔක්තෝබර් 26 වන දින සිදු වු කුමන්ත්‍රණයයි.

අඩුම තරමින් එදාවත් රජය පාඩමක් ඉගෙන ගත්තේ නැත. එම කුමන්ත්‍රණය අවස්ථාවේ දී රජය රැක ගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයෝ බුරුතු පිටින් රැස්වූහ. නමුත් නැවත රජය ලබා ගත් සැනින් සියලු පාක්ෂිකයින් නැවතත් අමතක කර දැමූහ.

යාචකයා පවා යොදා ගත් රාජපක්ෂලා..
——————————–
එසේ ගත් කළ මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීම සඳහා කිසිදු හේතුවක් එක්සත් ජාතික පාක්ෂිකයාට නොතිබුනා සේම මධ්‍යස්ථ පුද්ගලයින්ට ද හේතුවක් නොවීය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායම ගමේ හාමුදුරුවෝ, ත්‍රී රෝද රථ රියදුරන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්, වෛද්‍යවරු, ටියුෂන් ගුරුවරු පමණක් නොව බස් රථවල සිඟා කන යාචකයින් පවා තමන්ගේ ප්‍රචාරක යාන්ත්‍රණයට ඇතුළත් කර ගත්හ. තම දරුවාට එන්නත විද ගන්නට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ලඟට යන හෝ බව හෝ පියාට එම නිලධාරිනිය දිගු දේශනයක් පවත්වමින් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන ලෙසයි. පාරේ බස් රථයට නැග සිඟා කන පුද්ගලයා සිඟමන් යැදීමෙන් අනතුරුව බස් රථයෙන් බසින්නේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්නැයි ඉල්ලමිනි. පන්සලට යන දායක දායිකාවන්ගෙන් හාමුදුරුවරු ද දේශනා කරන්නේ ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙන ලෙසයි.

මම මේ කියන්නේ මුසාවක් නොවන්නේ ඊට ඇති තරම් සාධක මා සතුව තිබෙන නිසාය.

ජාතික නායකයෙක් නොවූ නොගැලපෙන සජිත්…
——————————–
අනෙක් අතට සජිත් ප්‍රේමදාස යනු ජාතික නායකත්වයක් සහිත දේශපාලකයෙක් නොවේ. ඔහු කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමග සිට කටයුතු කළේ නැත. ඔහු කටයුතු කළේ හරියට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නොවන ගානටය. කොටින්ම කිවහොත් ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය අවස්ථාවේ දීවත් ඔහු පක්ෂය හා පාක්ෂිකයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූයේ නැත. ඔහු පැත්තකට වී බලා සිටියේය.

සජිත් ප්‍රේමදාස නැති ජනප්‍රියතාවයක් ඇතැයි කියා ඔහු මුළාවට පත් කළේ එජාපයේම කිහිප දෙනෙකි. අජිත් පෙරේරා, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, මංගල සමරවීර, එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු වැනි කිහිප දෙනෙක් ඒ අතර විය. සජිත් ගේ වේදිකාවේ අගමැතිවරයා කතා කරමින් සිටින විට පසෙක සිටි මොවුන් “මූ එළවලා.. පක්ෂයේ නායකත්වය අපි ගන්න ඕනෑ” යැයි පවසයි.

මේ සියල්ල වේදිකාව යට සිටි එක්සත් ජාතික පාක්ෂිකයෝ අසා සිටියහ. තමන්ගේ නායකයාට නොසළකන මොවුන්ට ඡන්දය දීමෙන් ඇති පළක් නැතැ යි පාක්ෂිකයෝද සිතූහ. ඇතැම් එජාප නවක මන්ත්‍රීවරු වේදිකාව දෙවනත් කර කෑගැහුවේ ගෝඨාට ජම්පර් අන්දවන බවයි. මෙවැනි කතා අසන්නට මධ්‍යස්ථ ඡන්ද දායකයෝ කැමැති නොවූහ.

අගමැතිකම අපේක්ෂාවෙන් හිටි හර්ෂ ද සිල්වා අඩු තරමින් ඔහුගේ ආසනය වන කෝට්ටේ සජිත් වෙනුවෙන් මැතිවරණ කාර්යාලයක්වත් විවෘත කලේ නැත.

අගමැති බැස්ස සියළු ප්‍රදේශ ජයගත්තේය..
——————————–
අනෙක් කරුණ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඔහු ඉදිරිපත් කරන ලද කරුණු කිසිවක් තර්කාණුකූල නොවීමයි. සියලු දේ නොමිලේ දෙන බව කිව්වද, ඒ සඳහා මුදල් සොයා ගන්නා ක්‍රමයක් ඔහු කීවේ නැත. අනෙක් අතට ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ එක් කරුණකි.

එනම් උතුරු නැගෙනහිර ඡන්ද ටික මට අරන් දෙන්න. දකුණේ ඡන්ද මම බලාගන්නම් කියායි. ඒ අනුව අගමැතිවරයා උතුරු නැගෙනහිර බැස්සේය. නුවරඑළියට බැස්සේය. කොළඹට බැස්සේය. අගමැතිවරයා ඉදිරිපත් වූ සියලු ප්‍රදේශ එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේය. නමුත් සජිත් දිගින් දිගටම වසර 25ක් තිස්සේ නියෝජනය කළ හම්බන්තොට වැඩි ඡන්ද 1,75.000කින් පමණ රාජපක්ෂවරු ජයගත්තේ සජිත්ට අමතක නොවන පාඩමක් උගන්වමිනි. අඩු තරමින් සජිත් ගෙවල් හදා දුන් හම්බන්තොට මිනිස්සු වත් ඔහුට ඡන්දය දුන්නේ නැත.

අගමැතිවරයා කැම්පේන් කළ උතුරු නැගෙනහිර සියලු ආසන සියයට 80කටත් වඩා ඡන්ද ප්‍රතිශතයකින් එක්සත් ජාතික පක්ෂය ජය නොගන්නට එක්සත් ජාතික පක්ෂය ලැබු සමස්ත ඡන්ද ප්‍රතිපලය සියයට 30වත් ඉක්මවන්නට ඉඩ නොතිබිනි.

සජිත් උගුලට හසු කළ සියල්ලෝ අබ සරණං..
——————————–
සජිත් උගුලට හසු කළ සුජීව, අජිත්, මංගල, හරීන්, හර්ෂ ඇතුළු සියලු දෙනා තම ආසන පවා පරාජයට පත් වුයේය. අඩුම තරමින් අප්පච්චි මළා යැයි කියමින් එක්සත් ජාතික පක්ෂයට එක් වු විජිත් විජයමුනි සොයිසා මහතා පාස්කු ප්‍රහාරයේ දී වඩාත් හානියට පත් වූ මීගමුව ආසනය පවා දිනාගැනීමට සමත් වෙද්දී, මහලොකු දේශපාලකයින් යැයි පෙනී සිටි ඉහත කී ඊනියා තරුණ නායකයෝ අබ සරණං තත්ත්වයට පරාජයට පත්විය.

අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ඉල්ලන්නේ ද ඔවුන්ය. සජිත්ගේ ඡන්ද පදනම කැඩීමට මුලික හේතුවක් වුයේ සිංහල බෞද්ධකමට ඇතැම් කටකැඩිච්චි දේශපාලකයින් කරන ලද ප්‍රකාශයන්ය. දකුණේ එක්සත් ජාතික පාක්ෂික සිංහල බෞද්ධ ජනතාව පවා ඊට විරුද්ධව තම ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන්නේය.

තවමත් මේ රටේ මහාසංඝරත්නය ප්‍රධාන ජනමත නායකයින් බව එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන්ට අමතකව තිබීම මෙම පරාජයට මූළික හේතුවයි. මහා සංඝරත්නයේ අපමණ වැරදි තිබුනත් ඒවා විවේචනය කළ හැක්කේ මහාසංඝරත්නයට විනා ගිහියන්ට නොවේ. ගිහියන්ට මහා සංඝරත්නය විවේචනය කිරීමේ අයිතියක් නැත.

මේ සියලු දෙය මෙවර මැතිවරණ පරාජයට හේතුවිය. ඒ අතර වැදගත්ම දෙය වන්නේ මෙම පරාජයට මුළික හේතුව රජයේ මැති ඇමැතිවරු අමාත්‍යාංශවලට වී නිලධාරින් මෙන් කටයුතු කළා විනා ඔවුන් දේශපාලනය නොකිරීමය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here