ජාතිය ගොඩනඟන නව ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන එන තෙක් රටේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙනා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා සිදු කර ඇති ඇතැම් සංශෝධන සිදු කර ඇත්තේ මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් වුව ද විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී එවැනි කිසිදු බලපෑමක් සිදු නොකළ බව ද අගමැතිවරයා පැවැසුවේය.

දේශාපාලන බලපෑම්, දේශපාලන ඩීල්වලින් ඡන්දය උදුරා ගැනීමට බලපෑම කිරීම ආදියෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරමින් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බව ද අගමැතිවරයා පැවැසීය.

මහා සංඝරත්නයට, පොදු මහජනතාවට පවා විරෝධය පළ කිරීමටවත් ඉඩ නොතබා, ජනතාවට එපා වූ රට අරාජික කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂා කරන බව ද අගමැතිවරයා කීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට ඊයේ (21) පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාපකයන් පවා එය බෝම්බයක් බවත් , එය වැරදීමක් බවත් සඳහන් කරන අතර එම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ ජනතා පරමාධිපත්‍යයට සිදු කළ හානිය සුළු පටු නොවන බව ද අවධාරණය කළේය.

පසුගිය රජය විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ රාජපක්ෂ පවුලෙන් පළිගැනීමට වුව ද, ඉන් සිදු වූයේ රටේ ඒකීයභාවයට, ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල වීම සහ රාජ්‍ය දුර්වල වීම බව ද අගමැතිවරයා පැවසුවේය.

ප්‍රෝඪාකාරී 19 වැනි සංශෝධනය ඉවත් කර රටේ ඒකීයභාවය, ජාතික ආරක්ෂාව තහවුරු කරන මරණ බියෙන් තොරව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂා කරන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here