අපරික්ෂාකාරීව අධික වේගයෙන් රිය පදවා රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා හතරකින් යුත් චෝදනා පත්‍රයක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත ඊයේ (21) භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා, විත්තිකරුට එරෙහි නඩුව ලබන මාර්තු මස 04 වැනිදාට විභාගයට ගැනීමට ද දින නියම කළේය.

තවද සාක්කි දීම සඳහා ලබන මාර්තු 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ 1 සිට 05 දක්වා වූ සාක්කිකරුවන් ට සිතාසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණ සිතාසි මත අධිකරණය හමුවේ ඊයේ (21) පෙනී සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රුපියල් දස දහසක මුදල් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත මුදාහැරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

නඩුව කැදවූ අවස්ථාවේ අධිචෝදනා හතරකින් යුත් චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙත භාරදීම සිදුකෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා නඩුවට අයත් නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (21) නියෝග කළේය.

2016/ පෙබරවාරි මස 28දා රාත්‍රියේ අපරික්ෂාරීව අධික වේගයෙන් රිය පදවා අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, අනතුරට පත් සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රෝහලක් වෙත රැගෙන යාමට කටයුතු නොකිරීම ඇතුළු අධි චෝදනා හතරක් මත මෝටර් රථ ආඥා පනත යටතේ හා දණ්ඩනීති සංග්‍රහයේ 329 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එරෙහිව මෙම නඩුව පවරා ඇත.

මෙම රිය අනතුර සම්බන්ධයෙන්ම ඉදිරියේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අසත්‍ය සාක්කි ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16ක් මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ට ,ඔහුගේ රියසුරු වූ දිලුම් කුසිත කුමාර හා එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපත්ව සිටි සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් පවරා ඇති අතර එම නඩුව ද විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය විසින් ලබන දෙසැම්බර් මස 11වැනිදාට විභාගයට ගැනීමට දින නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here