‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක,කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ඒ මහතා සඳහන් කරයි.

යම් ද්විත්ව පුරවැසියකුට ජනාධිපති, අගමැති, ඇමතිවරයෙකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මෙරට දේශපාලනයේ සක්‍රිය භූමිකාවක් ඉටු කිරීමට උවමනා නම් වෙනත් රටක් සමඟ තිබෙන බැඳීම්, පක්ෂපාතීභාවය අතහැරිය හැකි විය යුතු බවත් එම බැඳීම් සහ පක්ෂපාතීත්වය ඇතිව ඉහත ධුර දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් හෙතෙම පවසයි.

දැනට ‘ද්විත්ව පුරවැසි බාධකය’ පවතින්නේ පාර්ලිමේන්තු හෝ වෙනත් මහජන නියෝජිත ධුරයක් දැරීමට වුවත් එය තානාපති ධුර, අමාත්‍ය ලේකම් ධුර, මහ බැංකු අධිපති ධුරය වැනි ධුරවලට ද අදාළ වන සේ පැවතිය යුතු බවත් මෙහිදී වීරවංශ මහතා අවධාරණය කළේය. එය රටට හිතකර දෙයක් මිස අහිතකර දෙයක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඊයේ පස්වරුවේ (20)  රාජගිරියේදී ජාතික නිදහස් පෙරමුණේ නායකයන් සහ ශ්‍රී ලංකාවේ කොම්යුනිස්ට් පක්ෂයේ නායකයන් අතර පැවති  සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here