හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න , පාඨලී චම්පික රණවක , අර්ජුන රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසකට ලබන 21 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබේ.

මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය මහතා කොමිසමට කළ පැමිණිල්ලකට ආදාළවයි.

මීට අමතරව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපූ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසකට ද එදිනම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතිසි නිකුත් කර තිබේ.

ඇවන්ගාඩ් හෙවත් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කෙසේ හෝ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බලපෑම් කළ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය පවසයි.

ඔහු සඳහන් කළේ, ඇවන්ගාඩ් හෙවත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් 2015 වසරේදී තමා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මල්ලිකාරච්චි නැමැත්තා මූලික විමර්ශන කළ බවයි.

අදාළ විමර්ශනයේදී පුද්ගලයින් 200 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර ගෝඨාභය රාජපක්ෂ , මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රබල සාක්ෂි අණාවරණය නොවූ බව පිලපිටිය මහතා සඳහන් කළේ ය.

නීතිපති දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳව දැනුම්දී තිබියදීත් ගෝඨාභය රාජපක්ෂ මහතාව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට කැඳවූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ , රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ස්ථානයේ CCTV කැමරා පද්ධති සවි කරමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ කොමිසමේ තවත් උසස් නිලධාරියෙකු වෙනත් ස්ථානයක සිට එය නිරීක්ෂණය කළ බවයි.

ඉන් නොනැවතුණු එම නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂගෙන් විමසිය යුතු ප්‍රශ්න ඇතුළත් කොළ කෑලි කිහිපයක් විමර්ශන නිලධාරීන් අතට පත් කර එම නිලධාරීන්ද මානසික වශයෙන් පීඩාවට ලක් කළ බව පිලපිටිය මහතා සඳහන් කළේ ය.

කොමිසම විමසා සිටියේ අදාළ කොළ කෑලිවල ඇතුළත් ප්‍රශ්න මොනවා ද යන්නයි.

“විමර්ශනයට කිසිසේත් අදාළ නොවන ප්‍රශ්න එහි ඇතුළත්ව තිබුණා ” සාක්ෂිකරු ප්‍රකාශ කළේ ය.

අනතුරුව ඇවන්ගාඩ් විමර්ශනය වෙනත් නිලධාරින් දෙදෙනෙකු අතරට පත්කරමින් ගෝඨාභය රාජපක්ෂ , පාලිත ප්‍රනාන්දු , නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් ඇතුළු පිරිසට එරෙහිව නඩු පවරා ඇතැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here