පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇතත් පෙරේදා දිනයේ සිට මේ දක්වාම ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නොමැති නමුත් අනිවාර්යයෙන්ම ඒ මහතාව ඉදිරියේදී අත් අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. 

” අපට පෙරේදා තමයි මේ සම්බන්ධ නියෝගය ලැබුණෙ. ඉතිං අපි විශ්වාස කරනවා ඒ කටයුත්ත ඉක්මනින්ම කරන්න පුළුවන් වෙයි කියලා. ඉතිං මේ … මේක තමයි සාමාන්‍යයෙන් සම්ප්‍රදාය. දැන් සැකකරුවෙක් හැටියට ඔවුන් නම් කරාම ඔවුන් සැඟවෙනවා. 

නමුත් ඉතිං තාම පැය 24ක් වගේ කාලයක් තමයි මේ නියෝගය ඇවිල්ලා ගතවෙලා තියෙන්නෙ. නමුත් අපි කෙසේ හෝ ඔහු අත් අඩංගුවට ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

එසේම කුරුණෑගල නගරාධිපතිවරයා, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා වැනි අය අත් අඩංගුවට ගැනීමට නියෝග තිබුණත් ඔවුන් පැමිණ බාරවනතුරු පොලිසිය බලා සිටිම වැනි සිදුවීම් සිහිපත් කිරීමේදී අජිත් රෝහණ මහතා පැවසුවේ රිෂාඩ් බදූර්දීන් මහතා සම්බන්ධයෙන් නම් එවන් තත්වයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ බවත්ය. 

අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ අද (15) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමිනි.