20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අකමැත්තක් නොමැති බවත් තමන්ට එම සංශෝධනය සම්බන්ධයෙන් පුද්ගලික මතයක් හෝ නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

මේ බව පැවසුවේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව ඉදිරිපත් කර තිබුණු විරෝධතාවල වත්මන් තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් ඊයේ (14) විමසූ අවස්ථාවේදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය..

“මන්ත්‍රීවරු අකමැති නෑ. 20 වෙනි සංශෝධනය කියන සමස්තයට නෙවෙයි යම්කිසි මන්ත්‍රීවරයෙක් හෝ කීපදෙනෙක්ගේ විරුද්ධත්වයක් තියෙනවා නම් තියෙන්නෙ ඒකෙ අන්තර්ගත සමහර කාරණා දෙක තුනකට තමයි. 

එහෙම නැතුව සමස්තයක් හැටියට රටේ ජනතාවගේ වරමින් ජනාධිපති ධුරයට පත්වෙච්ච ජනාධිපතිතුමාට මේ රටේ පොදු ජනතාව අදහස් කරන ආකාරයට මේ රට දියුණු කරන්න ඒ කාර්යක්ෂමව කටයුතු ඉදිරියට ගෙනියන්න බලය තිබිය යුතුයි කියන කාරණය ගැන කිසිම කෙනෙක්ගේ විවාදයක් නෑ. ඒකට හැමෝම එකඟයි. 

නමුත් ඒ සංශෝධනය ඇතුළෙ සිදුවෙන සමහර වෙනස්කම් පිළිබඳව තමයි ඇතැම් විට විවිධ අදහස් පළවෙලා තියෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔහුගේ පුද්ගලික අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඒ මහතා සැණින් පැවසුවේ “පුද්ගලික අදහස් නෑනෙ. සාමුහික අදහස් තියෙන්නෙ” යනුවෙනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here