පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් ඊයේ (13) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පත්වරයා වෙත ලබාදුන් උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්ඩායම් යවා තිබේ.

ජනාධිපතිවරණයේදී අවතැන්වූ ඡන්ද දායකයන් ඡන්දය දැමීමට පුත්තලම ප්‍රදේශයේ සිට ශිලාවතුර ප්‍රදේශය දක්වා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 222කින් ප්‍රවාහනය කිරීමෙන් රජයේ මුදල් රුපියල් මිලියන නමයහමාරක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු තිදෙනෙක් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා ඊයේ (13) වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්සුදීන් මොහොමඩ් සාහිම් හා එම ව්‍යපෘතියේ ගණකාධිකාරී අලගරත්නන් මනෝරන්ජන් යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා එසේ වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙණෙවිය පැවසුවාය.

එම තිදෙ⁣නාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් තිදෙනාම සැකකරුවන් ලෙස නම් කිරීමට ප්‍රමානවක් සාක්කි ඇති බැවින් කුමන්ත්‍රණය කිරීමේ පදනම මත 1981අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 82(01) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද දඩුවම් ලැබිය හැකි වරැදි සිදු කිරීමට අදාළව සැකකරුවන් ලෙස නම් කරමින් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසටද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදන යටතේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු තිදෙනාම සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් මත රහස් පොලිසිය ඊයේ(13) කොටුව මහෙස්ත්‍රාත්වරයා⁣ වෙත කරුණු දක්වමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් අවශ්‍ය නොවන බව ට ප්‍රකාශ කර තිබුණි. පොදු දේපළ පනත යටතට ගැනෙන වැරැදි සිදු කරන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු අනවශ්‍ය බවටද මහේස්ත්‍රාත්වරයා ඊයේ (13) වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ඒ අනුව පවත්නා නීතිය ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා එම උපදෙස් ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here