හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමින් ඊයේ (12 ) කියා සිටියේ මුස්ලිම් නායකයින් රජය නියෝජනය කිරීමත්, අන්තවාදීන් පාලනය කිරීමට මුස්ලිම් නායකයින් කටයුතු නොකිරීමත් නිසා මුස්ලිම් අන්තවාදීන් පාලනය කිරීමට තම රජයට අපහසු වූ බවයි.

එසේම ආරක්ෂක මණඩලයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කැඳවනු නොලැබුවේ ඔහුගේ යම් යම් ක්‍රියා කලාපයන් හේතුවෙන් බවත් හිටපු අගමැතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීම කැඳවීම හෝ නොකැඳවීම ජනපති අභිමතය මත සිදු කළ හැකි බවත් හිටපු ජනපති සඳහන් කළේය.

එමෙන්ම හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉවත් කිරීමට හේතු වුණේ දේශපාලන බලපෑම් නිසා බවද හිටපු ජනපතිවරයා සඳහන් කරයි

එසේම තමා ජනපති වී පළමු සතියේම අගමැති රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කිරීමේ දී නොගැළපෙන විවාහයක් කරගෙන ඇති බවත් තමාට යක්ෂයකු සමග කටයුතු කිරීමට සිදු වූ බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයේ දී තමා සංවිධාන හතලිස් නවයක් සමග ගිවිසුම් අත්සන් කළද එම සංවිධානවල සිටි අය පිළිබඳව නොදන්නා බව ද කී හිටපු ජනාධිපතිවරයා තමා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නිර්පාක්ෂිකයකු ලෙස නොවන බවද කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව සමයේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් මෙරට මානව හිමිකම් කොමිසමෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට වැරදි වාර්තා යවනු ලැබුවේ මානව හිමිකම් කොමිසමට එල්.ටී.ටී.ඊ. අයෙකුගේ පවුලේ කෙනෙකු පත් කිරීම හේතුවෙන් බවද හිටපු ජනපති කොමිසම හමුවේ කියා සිටි අතර රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් කළ පසු තමා ලබා දුන්, නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස නිලධාරීන්ට හිටපු අගමැති උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඊයේ (12 ) දෙවන දිනටත් සාක්ෂි විමසනු ලැබුවාය.

මෙහි දී හිටපු ජනපති කියා සිටියේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, ජාතික බුද්ධි අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස් යන සිව් දෙනාගෙන් කිසිකෙනෙකු තමාට මෙම ප්‍රහාරය පිළිබඳව නොදැන්වූ බවය.

එම සිව්දෙනාගෙන් ඕනෑම කෙනෙකුට මේ තොරතුර ගැන තමාව දැනුවත් කිරීමට අවස්ථාව තිබූ බවද ඔහු පැවසීය.