තමන් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙහි සහ විපක්ෂයෙහි ඇතැමුන් නඟන චෝදනා අසාධාරණ බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොයුරු රියාජ් බදූර්දීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් කියා සිටී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 14 වන දින තමන්ව අත් අඩංගුවට ගත් බවත් මාස පහාමාරකට ආසන්න කාලයක් තමන්ව රඳවා තබාගෙන පරීක්ෂණ කළ බවත් සිහිපත් කරන ඒ ඔහු එම කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ පිහිටි තම නිවස, පුත්තලමේ පිහිටි තම බිරිඳගේ දෙමාපියන්ට අයත් නිවස, තම බැංකු ගිණුම්, ව්‍යාපාරික ගනුදෙනු, තම ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය මෙන්ම තම පෞද්ගලික හා ව්‍යාපාරික දුරකථන සංවාද පවා පරීක්ෂාවට ලක් කරන ලද බව එම ලිපියේ සඳහන් කර ඇත. 

ඒ අනුව එම පරීක්ෂණ අවසානයේ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් සමග තමන්ට තිබුණේ දැන හැඳුනුම්කමක් පමණක් බවත් තමන් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් තහවුරු වූ බව ඔහු පෙන්වා දෙයි.. 

තමන්ව මුදාහැරියේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තොරව බවට ඇතැමුන් නගන චෝදනා වලට ද පදනමක් නොමැති බව පවසන ඒ මහතා ඒ වනවිට සිදුකෙරෙන විමර්ශන වලට අදාළව රඳවාගෙන ප්‍රශ්න කිරීමට සාක්ෂි නොමැති පුද්ගලයින්ව නිදහස් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා ඊට පෙරම නියෝග කර තිබුණු බවත් සඳහන් කරන අතර එම අධිකරණ නියෝගයෙහි පිටපතක් ද සිය ලිපිය සමඟ අමුණා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. 

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට ගත් දිනයේදීම අත් අඩංගුවට ගත් හත් දෙනා අතරින් සිව් දෙනෙකුම තමන්ට පෙර නිදහස් කළ බවත් සිහිපත් කරන ඒ මහතා ඔවුන් අතරින් දෙදෙනෙකු ද නිදහස් කළේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තොරව බවත් පෙන්වා දෙයි. 

එහෙයින් තමන්ට එල්ල වුණු අසත්‍ය චෝදනා ජනාධිපතිවරයා පිළිනොගන්නා බව තමන් විශ්වාස කරන්නේ යැයි සඳහන් කරන ඔහු ආණ්ඩුව තුළත් විපක්ෂයේත් සිටින ඇතැම් පිරිස් අසාධාරණ ලෙස තමන්ට චෝදනා එල්ල කරමින් දේශපාලන වාසි ලබාගැනීමටත් ජාතිවාදී තත්වයක් ඇතිකිරීමටත් උත්සාහ කරන බව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here