නඩුව අත්හිටුවන්න ඉල්ලු චම්පික හදිසියේ ලෙඩවූ හේතුව හෙළිවෙයි!

රාජගිරියේදී තරුණයකු සිය රථයට යට කර බරපතළ තුවාල සිදුකොට පලායෑම හා අනතුර ගැන වාර්තා නොකොට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අන් අයකු රථය පැදවූ තැනැත්තා වශයෙන් ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වත්මන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කොට ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එම නඩු විභාගය මේ මස 21 වැනි දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

මේ අවස්ථාවේදී නීතිපති නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය අමතමින් මෙසේ කියා සිටියේය.

“විත්තියේ උගත් නීතිඥ මහතා විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවට අනුව පළමුවැනි විත්තිකාර පාඨලී චම්පික යන අය මාසයක පමණ කාලයක් යන තෙක් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වන තරමේ බරපතළ රෝගී තත්ත්වයකින් පසුවන බැව් ප්‍රකාශ වන නමුත් පෙරදින එනම් පෙරේදා (10දා) අභියාචනාධිකරණය හමුවට පැමිණ මෙම අධිකරණයේ විභාග වන මෙම නඩු  විභාගය අත්හිටුවමින්  අතුරු නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා.”

“එදින; එනම් පෙරේදා (10දා) පස්වුර 1.30ට පමණ ශේ‍ර්ෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සිටගෙන මෙම විත්තිකරු කිසිදු අපහසුතාවකින් තොරව නීතිඥ මහත්වරුන් සමඟ සාකච්ඡාවක යෙදී සිටිනු තමා සියැසින්ම දුටු බැව් කියා සිටි රජයේ ජේ‍යෂ්ඨ සොලිසිටර් ජනරාල් නීතිඥ පීරිස් මහතා ඒ අනුව මෙම වෛද්‍ය වාර්තාව ප්‍රශ්නගත වන බවත් කියා සිටියේය. 

එබැවින් මෙම වෛද්‍ය වාර්තාව පිළිගත හැකිද යන ප්‍රශ්නය උද්ගත වන බවත් මීට පෙර අවස්ථාවකදී මෝසම් පත්‍රයක් ඉදිරිපත් කරමින් සිය විදේශ ගමන් තහනම අත්හිටුවා විදෙස්ගත වීම සඳහා විදෙස් ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට ඉල්ලා සිටි මෙම විත්තිකරු මේ අවස්ථාවේදී අසනීප තත්ත්වයක් මත අධිකරණය හමුවට පැමිණීමට නොහැකි බව ප්‍රකාශ කරනවා.”

තවද ලංකා පෞද්ගලික රෝහල මීට ඉහතදී නොයෙක් අවස්ථාවන්හිදී සැකකරුවන් විත්තිකරුවන් සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ වාර්තා හා රෝහල්ගත කිරීම්ද ප්‍රශ්න ගත වූ හෙයින් මෙම වාර්තාව ගැනද විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. 

මෙම නඩුවට අදාළ සිද්ධියේ වින්දිත තරුණයා සිය පියා විසින් රෝද පුටුවක ආධාරයෙන් මෙම අවස්ථාවේදීන් අධිකරණය හමුවට රැගෙන විත් සිටිනවා. එසේ තිබියදී නඩුව කල් තබමින්, යළි යළිත් එම වින්දිතයාටත්, ඔහුගේ පියාටත් හිංසනයට ලක්වීමට ඉඩතැබිය යුතු නැහැ. එබැවින් විත්තිකරු රෝහල්ගතව සිටින රෝහලට ගොස් මෙම වාර්තාව  සඳහන් කරන පරිදි විත්තිකරු බරපතළ තත්ත්වයකින් පසු වන්නේද නැද්ද යන්න නිශ්චය කර ගැනීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

තවද එම වාර්තාව නිකුත් කරනු ලැබූ වෛද්‍ය විශේෂඥවරයාගේ ප්‍රකාශයක්ද ලබාගෙන එයද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාද නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා. 

එමෙන්ම මූලික සාක්ෂි විභාගය අවසන් කොට මේ වන විටත් මසක පමණ කාලයක් ගතව ඇති බැවින් ඉතිරි සාක්ෂිය විමසා අවසන් කිරීම තව තවත් කල් දැමීම මඟින් සාක්ෂිවලට අගතියක් සිදුවිය හැකි බවද අධිකරණයේ අවධානයට යොමු කරනවා යැයිද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පීරිස් මහතා කියා සිටියේය.

විත්තිය විසින් ලබා දෙන ලද වෛද්‍ය වාර්තාවට අනුව පළමු විත්තිකාර පාඨලී චම්පික යන අය පවතින රෝගී තත්ත්වය මත මසක් පමණ කාලයක් අධිකරණ කටයුතුවලට සහභාගී වීමට නොහැකි බවට පවසා සිටින නමුත් ඊයේ දින විත්තිකරු අභියාචනාධිකරණයට පැමිණ මහාධිකරණ මෙම නඩු විභාගය අත්හිටුවන ලෙසට ඉල්ලීම් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවැසීය.

මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ  වාර්තා වෛද්‍ය වාර්තා නොවන බවත් ඒ සම්බන්ධයෙන් නිගමනය කළ  හැකි බවත් පැවැසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලංකා පෞද්ගලික රෝහල මීට පෙරද සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය දන්නා බව ප්‍රකාශ කළේය.

මෙම නඩුවේ වින්දිතයාද මේ වන විට රෝද පුටුවක් ආධාරයෙන් අධිකරණයට පැමිණ ඇති බවත් මෙලෙස නඩු කල් දැමීම වින්දිතයන්ටද අසාධාරණයක් වන බවත් අධිකරණ ක්‍රියාවලිය කිසි විටකත් අවභාවිත නොකළ යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව විත්තිකරු නැවතී ඇතැයි කියන ලංකා පෞද්ගලික රෝහලට ගොස් විත්තිකරුගේ වෛද්‍ය වාර්තා හා ඔහුව පරීක්‍ෂා කර එම වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත අද දිනම නියෝග ලබා දෙන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව ලබා දුන් විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වෙතද අද දිනම නියෝග නිකුත් කරන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සතියක් වැනි කෙටි කාලයක් තුළ මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නඩුව කැඳවන  ලෙසට අධිකරණයෙන් ඉල්ලීම් කළ නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස මසක පමණ කාලයකට පෙර මූලික සාක්ෂි විමසීම සිදු කර අනතුරුව ඉතිරි සාක්ෂි විමසීමට තවත් කල් දැමීමෙන් සාක්ෂිවලටද අගතියක් සිදුවන බව ප්‍රකාශ කළේය.

මේ  සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි පියවර ගන්න ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ වෛද්‍ය වාර්තා පරීක්‍ෂා කර බැලීමේදී ලංකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා විසින් ලබාදී ඇති වාර්තාව ඔහුගේ අත්අකුරින් ලියන ලද වාර්තාවක් වන බැවින් කරුණු පැහැදිලිව කියවා ගත නොහැකි බව පැවැසීය.

චූදිතගේ රෝගී තත්ත්වය හා එහි ඇති බලපෑම පිළිබඳව පැහැදිලි නිගමනයකට පැමිණිය නොහැකි බව පැවසූ විනිසුරුවරයා මාසයක කාලයක් අධිකරණ කටයුතුවලට චූදිතට සහභාගී වීමට නොහැකි වන හේතුව පිළිබඳ පැහැදිලි නිගමනයක් නොමැති බවද ප්‍රකාශ කළේය.

ඒ අනුව පැමිණිල්ලේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම් සාධාරණ පදනම ඇති බව නිගමනය කරන බවට තීරණය කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

මෙම නියෝගය අද දිනම කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යරයා වෙත ලබා දීමට කටයුතු කරන ලෙසට විනිසුරුවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියම කළේය.

එසේම අධිකරණයට විත්තිකරු විසින් නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් එය ලියන ලද විශේෂඥ වෛද්‍යවරයාගේ  ප්‍රකාශ ලබා ගන්න ලෙසත් චූදිතට යම් රෝගී තත්ත්වයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ පිළිබඳවද එම වෛද්‍යවරයාගෙන් ප්‍රකාශ  ලබා ගන්නා ලෙසත් විනිසුරුවරයා කොළඹ අපරාධ කොට්ටාසය වෙත නියෝග කළේය.

මෙම නියෝගයද අද දිනම කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා  අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියම කළේය.

පැමිණිල්ලේ ඉල්ලීම පරිදි සතියක කාලයක් ලබා දුන් විනිසුරුවරයා ලබන 21 වැනි දින නඩුව නැවත කැඳවීමට නියම කළ අතර නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනා තාවකාලිකව මුදාහැරීමට නියම කළේය.

මිට පෙර අධිකරණය විසින් මුදාහරින ලද විත්තිකාර පාඨලී චම්පික යන අයගේ විදේශ ගමන් බලපත්‍රය නැවත විත්තියේ ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට භාර දුන්නේය.

එසේම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක නීත්‍යනුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා සාක්ෂි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම හා පාඨලී චම්පික රණවක යන අය නීත්‍යනුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා වරැදි වාර්තාවක් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීම පිළිබඳව සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන අයට එරෙහිවද නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

පාඨලී චම්පික රණවක වරදක් සිදු කර ඇති බව දන දැනම අසත්‍ය තොරතුරක් එනම් එකී රථය පැදවූවේ තමා බවට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට සාවද්‍ය වරද කියා පෑමක් සම්බන්ධයෙන් දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිවද නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

ඒ අනුව විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අධිචෝදනා දහසයක් යටතේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබිණි.

 467 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply