ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්!

පළමුවෙන්ම කිව යුත්තේ වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි බවය. කවුරු කකුලෙන් ඇද්දත් රට ගොඩගත හැකි බව මගේ ස්ථාවරයයි. විශ්වාසයයි. හැබැයි එය කළ හැක්කේ කතාවෙන් සහ සිහින දැකීමෙන් නොව ප්‍රායෝගික ප්‍රතිපත්ති සහ සැලසුම් මගිනි. ප්‍රශ්නයකට තිබෙන්නේ තීරණ ගන්නා සහ ක්‍රියාත්මක වන තැන්වල එවැනි පුද්ගලයන් නොසිටීමය. එය මා පමණක් නොව රටම කියන පිළිගන්නා කරුණකි.

රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව සත්‍යයකි. එහෙත් අප එහි යා යුත්තේ ඔවුන්ගේ කොන්දේසි ඉටු කිරීමට නොව අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීමටය. එය කළ නොහැකි දෙයක් නොවේ. මක් නිසාද යත් අපද මූල්‍ය අරමුදලේ සාමාජිකයකු නිසාය. අප මූල්‍ය අරමුදලේ සාමාජිකයකු වූයේ අද ඊයෙක නොව, 1950 දීය. එහෙයින් අප මූල්‍ය අරමුදල හමුවේ දණ නැවිය යුතු නොවේ. සම මට්ටමක සිට අපට එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ හැකිය. අවශ්‍ය වන්නේ ඒ සඳහා දැනුමින්, බුද්ධිමත්භාවයෙන් උපායශීලිත්වයෙන් සහ විචක්‍ෂණශීලිත්වයෙන් පිරිපුන් මිනිසුන් පිරිසකි. එවැනි පිරිසකට හොඳ ප්‍රතිඵල නෙළාගත හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ගැන මට කදිම කාරණයක් මතක් වෙයි. 2016 දී එවකට පැවැති රජයද මූල්‍ය අරමුදලට ගියා මට මතකය. එහිදී මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට කියා සිටියේ දෙස් විදෙස් ආයෝජන සඳහා ලබා දෙන බදු විරාම හෙවත් බදු නිදහස් (Tax Holiday) නවතා දමන ලෙසය. රජය ඒ නියමය පිළිගත් නිසා ආයෝජන නැවතිණි. මෙමගින් ලක්‍ෂ හතරකට රැකියා අහිමිවිය. එසේම 2016 දී මූල්‍ය අරමුදල ලංකා රජයට කියා සිටියේ ඩොලරයේ විදේශ විනිමය වටිනාකම පා කරන ලෙසය. ඒ උපදෙස ද එලෙසින්ම පිළිගෙන කටයුතු කළ නිසා එවකට රුපියල් 130 ක් වූ ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 178 දක්වා ඉහළ නැංගේය. එමගින් රට අභ්‍යන්තරයේ නොයෙක් ප්‍රශ්න ඇති විය. 
ඒ නිසාම ඒ රජයට ගෙදර යාමටද සිදුවිය.

මා කියන්නේ මූල්‍ය අරමුදලට නොයා යුතු බවක් නොවේ. එහි යා යුතුය. එහෙත් ඉහත කොන්දේසි දෙක මොනම හේතුවක් නිසාවත් නොපිළිගත යුතුය. වෙන කවර කොන්දේසියකට යටත් වූවත් 2016 දී යටත් වූ කොන්දේසි දෙකට එකඟ නොවිය යුතුමය. ඒ කොන්දේසි දෙකට එකඟ නොවී මූල්‍ය අරමුදලට යාමේ දොසක් මම නොදකිමි.

මූල්‍ය අරමුදලට යන්නැයි දිගින් දිගට බණ කියන්නේ ඩොලර් ණයක් ලබාගැනීම සඳහාය. මා දැන් ඔබට කියන්නට සූදානම් වන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන 11.25ක් දේශීයව නැතහොත් රට ඇතුළේ නිපදවා ගත හැකි ක්‍රම හතක් පිළිබඳව 2019 දී මා ලියූ පොතකින් උපුටා ගත් කරුණුය.

මගේ පළමු යෝජනාව මෙයයි. වසරකට මෙරට සිසුහු 25,000ක් පමණ විදෙස් රටවල අධ්‍යාපනය සඳහා පිටව යති. ඒ සිසුවකු සඳහා රටින් පිට වසරකට ඇදී යන මුදල ඇමෙරිකන් ඩොලර් 30,000කි. විසිපන්දහස තිස්දහසකින් වැඩි කළ විට ලැබෙන පිළිතුර (25,000 x 30,000) ඇමෙරිකන් ඩොලර් මිලියන 750කි. පළමු, දෙවැනි හා තෙවැනි ලෙස වසර තුනක සිසුන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන නිසා ඒ ගණන එනම් ඩොලර් මිලියන 750 තුනෙන් වැඩි කළ යුතුය. එවිට ලැබෙන පිළිතුර ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25කි. ඒ අනුව මෙරට සිසුන් 25,000ක් ඔස්සේ අවුරුද්දකදී රටින් පිටට යන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25කි. පිටරටවලට යන සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නොයා තබා ගැනීමට සුදුසු ක්‍රමයක් ගැන දැන් මම කියමි.

එකවර සිසුන් 30,000කට අධ්‍යාපනය ලැබිය හැකි විශ්වවිද්‍යාල පහකින් (05) යුත් ගම්මානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විනාඩි 30කින් ළඟා විය හැකි ප්‍රදේශයක රජය මගින් ඉදිකළ යුතුය.

අනතුරුව ඒ විශ්වවිද්‍යාල පහේම කළමනාකාරීත්වය ජාත්‍යන්තරව පිළිගත් හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතින් ඉහළින්ම තිබෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පහකට පැවරිය යුතුය.
එවිට විදෙස් විශ්වවිද්‍යාලවලට ඇදී යන දරුවන් පිරිස මෙරටෙහි නවතා ගත හැකිය. ඒ දරුවන්ට ඉහත කී විශ්වවිද්‍යාල පහෙන් උපාධි ලබාදිය යුතුය. එමගින් ඔවුනට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් මෙරටෙහිදීම ලබාගත හැකිය.

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමඟ එක්ව ඒ දරුවන්ට සහනදායී අධ්‍යාපන ණය ක්‍රමයක් හඳුන්වාදිය යුතුය. එසේම ඒ විශ්වවිද්‍යාල පහ මගින් වසරකට විදේශීය සිසුන් 25,000ක් ගෙන්වා ගත යුතුය. එසේ කිරීමෙන් අපේ ආර්ථිකයට වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25ක ආදායමක් එක් කළ හැකිය.

දැන් මගේ දෙවැනි යෝජනාව කියමි. තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවලට යන සංචාරකයන්ගෙන් සියයට 50ක්ම යන්නේ ගාස්තු අඩු (Budget Air Line) ගුවන් යානවලය. මා කියන්නේ රත්මලාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර බජට් ගුවන් සේවා මධ්‍යස්ථානයක් (Hub) ලෙස සංවර්ධනය කළ යුතු බවය.

එමගින් දැනට ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ට අමතරව තවත් සංචාරකයන් ලක්‍ෂ 10ක් පමණ මෙරටට ආකර්ෂණය කරගත හැකිය. දැන් මෙරට තිබෙන හෝටල් කාමර 80,000 කින් තරු පහේ කාමර තිබෙන්නේ 20,000ක් පමණය. ඉතිරි කාමර 60,000ම තරු පහට පහළ ඒවාය. ඒ නිසා ඒ කාමරත් ඉලක්ක කරගෙන සංචාරක කර්මාන්තයේ ක්‍ෂණික වර්ධනයක් සඳහා හැකි තරම් ඉක්මනින් රත්මලාන ගුවන් තොටුපොළ ගාස්තු අඩු ගුවන් යානා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කළ යුතුය. ඇස් හැර ඉහත කී රටවල් දෙස බලා ඒ වෙනසට ගමන් කළ යුතුය. එසේ කිරීමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක් උපයාගත හැකිය.

මගේ තෙවැනි යෝජනාව වන්නේ මෙරට සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උගන්වන තොරතුරු තාක්‍ෂණ, ඉංජිනේරු සහ පරිගණක භාෂා (Programming) පාඨමාලා ඉගැන්වීමේ කටයුතු පෞද්ගලික අංශයට ද විවර කළ යුතු බවය.

ඒ පෞද්ගලික ආයතනවල ඉගෙන ගන්නා සිසුන්ට විභාග පැවැත්විය යුත්තේ ඒ ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල මගිනි. රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් පවත්වන ඒ විභාගවලින් සමත් වන සිසුන්ට බාහිර උපාධි පිරිනැමිය යුතුය. එමගින් ඉදිරි වසර පහේදී සිසුන් ලක්‍ෂ දෙකකට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමට හැකිවෙයි. ඒ පාඨමාලා හැදෑරූ සිසුන් සොයන සමාගම් ලෝකයේ ඕනෑ තරම් තිබේ. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ ඔවුනට අවශ්‍ය ශ්‍රමිකයන් නැතිකමය. ඉහත ක්‍රමයට අප ඒ ශ්‍රමිකයන් බිහි කළොත් ඔවුන්ට තොරතුරු තාක්‍ෂණ සමාගම්වල රැකියා ලබාගත හැකිය. ඒ රැකියා මෙරටදීම කළ හැකිය. එහෙත් එමගින් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කළ හැකිය. දැනට එවැනි රැකියා කරන්නේ ලක්‍ෂයකි. ඔවුන් උපයන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියනයකි. මා කියන්නේ එයට තවත් ඩොලර් බිලියන දෙකක් එකතු කරන ක්‍රමයකි.

පොල් කර්මාන්තයෙන් කළ හැකි විප්ලවය මගේ හතරවැනි යෝජනාවයි. දැනට අවුරුද්දකට අලුත් පොල් පැළ ලක්ෂ 15 ක් අලුතින් සිටුවන බව කියැවෙයි. එහෙත් එය ඇත්තක් දැයි කිසිවෙක් නොදනිති.

අද ලංකාවේ පොල් සහ පොල් ආශ්‍රිත වටිනාකම එකතු කළ නිෂ්පාදන කරන කර්මාන්තශාලාවලට අවශ්‍ය තරමට පොල් නොලැබෙයි. රටේ පොල් නිෂ්පාදනයෙන් 80% ක්ම නිවාසවල පරිභෝජනයට ගනියි. ඒ නිසා කර්මාන්ත ශාලාවලට තම නිෂ්‍පාදන සඳහා පොල් හිඟය. ඒ නිසා පොල් පැළ සිටුවීමට ඉඩ තිබෙන තැන්වල බලෙන් හෝ පොල් පැළ සිටුවිය යුතුය. එසේ අවුරුද්දකට පොල් පැළ ලක්ෂ 40 ක් සිටුවිය යුතුය. ඒ සඳහා රජයෙන් විශේෂ සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව අවුරුදු පහකදී පොල් පැළ ලක්ෂ 200ක් සිටුවිය හැකි නම් එමගින් පොල් ගෙඩි බිලියන 1.2 ක් පොල් ආශ්‍රිත කර්මාන්තවලට සැපයිය හැකිය. එක පොල් ගෙඩියක් ඩොලර් ශත 50 ක වටිනාකමකට කර්මාන්තයට එකතු කිරීමෙන් ඒ පස් අවුරුදු සැලැස්ම මගින් අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක (120 x 5 = 600) ආදායමක් උපයාගත හැකිය. ඒ පොල් සහ පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීමෙනි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි විප්ලවයක් කළ හැකි ක්‍රමය මගේ පස් වැනි යෝජනාවයි.
ඒ සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් වැනි ජාත්‍යන්තරව පිළිගත් පහසුකම් සහිත රෝහල් දෙකක් රජයේ වියදමින් ඉදි කළ යුතුය.

අනතුරුව එහි කළමනාකාරීත්වය ජාත්‍යන්තරව පිළිගත් රෝහල් දෙකකට භාර දිය යුතුය. මා එසේ කියන්නේ දැනට වසරකට ඩොලර් මිලියන 100 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රටින් පිටට ඇදී යන හෙයිනි. මගේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් එසේ රටින් පිටට යන මුදල මහා පරිමාණයෙන් සීමා කළ හැකිය. එසේ පිහිටුවන රෝහලට විදෙස් රටවල රෝගීන් ගෙන්වාගත හැකිය. එමගින් අවුරුද්දකට ඉපයිය හැකි ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ඉක්මවනු නිසැකය. ඊට අමතරව දැනට රටින් පිටට ඇදී යන ඩොලර් මිලියන 100 ද මෙරටෙහිම නවතාගත හැකිය. එසේ වූ විට මවුන්ට් එළිසබෙත් වැනි රෝහලක් මෙරටෙහි ඉදි කිරීමෙන් ජාතික ආදායමට අවුරුද්දකට එක් කරගත හැකි මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 200 කි.

මගේ හයවැනි යෝජනාව ධීවර කර්මාන්තය පිළිබඳවයි. දැනට අපේ රටේ ධීවර වරායවල ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. ඒ නිසා බහුදින යාත්‍රාවලට බලපත්‍ර දීම සීමා කර තිබේ. එක් බහුදින යාත්‍රාවක් තිබෙන අයට තවත් යාත්‍රාවක් සඳහා බලපත්‍රයක් දිය යුතුය. එහෙත් ධීවර වරායේ වරකට නවතා තැබීමට ඉඩ දිය යුත්තේ එක් යාත්‍රාවකට පමණකි. පවතින ක්‍රමය එසේ වෙනස් කිරීමෙන් ගැඹුරු මුහුදේ මසුන් මැරීමෙන් ලබන ආදායම දෙගුණයක් කරගත හැකිය.

ඉන්දියාවේ වර්ග කිලෝමීටරයකින් අවුරුද්දකට ලබන මාළු අස්වැන්න කිලෝ 2000 කි. එහෙත් ලංකාවේ වර්ග කිලෝමීටරයකට අවුරුද්දකට ලබන මාළු අස්වැන්න කිලෝ 900 කි. ඒ නිසා ලංකාවේ කුඩා ධීවර යාත්‍රාවලට සැටලයිට් හතරකින් යුතු ජී.පී.එස්. තාක්ෂණයෙන් සමන්විත ජෙමිනි (Gemini) උපකරණ සවිකිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එසේ කිරීමෙන් මාළු රංචු පිටින් මුහුදේ සිටින ස්ථාන හඳුනා ගැනීමට හැකිවෙයි. එමගින් අපේ ධීවරයන්ට නෙළාගත හැකි මාළු අස්වැන්න දෙගුණයකින් කරගත හැකිය.

එමගින් අවුරුද්දකට කිලෝග්‍රෑම් මිලියන 500 මාළු අස්වැන්නක් ලැබෙයි. ඉන් උපයාගත හැකි ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන එකකි. ඒ ආදායම ලැබෙන්නේ අල්ලන මාළු අපනයනයෙන් හා අස්වැන්න ඉහළ යාම නිසා ආනයනය අඩු වීමෙනි.

මගේ හත්වැනි යෝජනාව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයෝජකයන්ට ලැබෙන බදු නිදහස් (Tax Holiday) පිළිබඳවයි. බදු විරාම සහ අනෙකුත් ප්‍රතිලාභ වැඩිකරමින් ආසියාවේ හොඳම ව්‍යාපාරික ආයෝජන පරිසරය ලංකාවේ ගොඩනැගිය හැකි බව මගේ තක්සේරුවයි.

නව ආයෝජන ව්‍යාපෘතිය ඔස්සේ ඇමෙරිකන් ඩොලර් බිලියනයක ආදායමක් උපයාගත හැකි බව මගේ නිගමනයයි. එසේම ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකය (Doing Business Index) අතින්ද ලංකාව දැනට වඩා බොහෝ ඉදිරියට රැගෙන ආ යුතුය. එමගින්ද ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකිය. එම ආයතන බඩු සහ සේවාවන් පිටරට යැවීමෙන් අවුරුද්දකට ඩොලර් බිලියන දෙකක ආදායමක් ඉපයිය හැකිය. ඒ දෙකෙහි එකතුව ඩොලර් බිලියන තුනකි.

මා ඉහත සඳහන් කළ යෝජනා හත ක්‍රියාත්මක කිරීමෙන් අවුරුදු පහක් ඇතුළතදී අපේ රටේ ජාතික ආර්ථිකයට ඇමෙරිකන් ඩොලර් බිලියන 11.25 ක ආදායමක් උපයාගත හැකිය. එසේම ඉහත කී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇරැඹීමත් සමග ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අතර දැනට ලංකාව සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය දුරු වී විශ්වාසය ඉහළ යයි. එමගින් ණය ශ්‍රේණිගත කිරීම අතින් දැනට පහළ වැටී සිටින අපට රටක් ලෙස ඉහළ යාමටද හැකි වෙයි. එසේ වීමෙන් පහසුවෙන් ණය ලබාගත හැකි වෙයි.

ඔබ මගෙන් අහන්නේ ඩොලර් ඉපයීමෙන් පමණක් රටක් ගොඩ දැමිය හැකිද කියලයි. ඊට මගේ පිළිතුර බැහැ යන්නය. ලංකාවේ පවතින්නේ ඩොලර් බිලියන 80ක ආර්ථීකයකි. ඩොලර් ඉපයීම ආර්ථිකයේ එක කොටසක් පමණකි. සංචාරක කර්මාන්තය, විදේශ රැකියා, අපනයන යනාදියෙන් අප අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන 25 කි. ඉතිරි ඩොලර් බිලියන 55ම දේශීය වශයෙන් සපයන දායකත්වයයි. ඒ නිසා රටේ සමස්ත ආර්ථික වර්ධනය ඩොලර් ඉපයීමෙන් පමණක් ඉහළ නැංවිය නොහැකිය. රජයට බලපා තිබෙන ඩොලර් ප්‍රශ්නය ආනයන අපනයන වෙළඳාමේ නියුතු අපට බලපා නැති දැයි ඔබ මගෙන් අසයි.

මගේ ඍජු හා කෙටි පිළිතුර නැත යන්නයි. මට ඒ පිළිතුර දීමට හැකි වී තිබෙන්නේ අපේ සමාගම් සමූහයේ හේලීස් හා වැලිබල් සමාගම් ඔස්සේ කළ මෙහෙයුම් නිසාය. වසර 2010 දී අප තීන්දු කළේ ආනයනය කරන සෑම ඩොලරයකටම එක් ඩොලරයක් වටිනා දෙයක් අපනයනය කළ යුතු බවටය. ඒ ඉලක්කය අවුරුදු 10 කින් සපුරා ගැනීමට අපි සැලසුම් කළෙමු. එහෙත් අවුරුදු අටකදී එනම් 2018 දී ඒ ඉලක්කය සපුරා ගැනීමට අපට හැකි විය. ඒ නිසා අපට ඩොලර් ප්‍රශ්නයක් ඇත්තේම නැත. ආණ්‍ඩුවකට එසේ කළ නොහැකි දැයි දැන් ඔබ මගෙන් අසයි. මගේ පිළිතුර පුළුවන් යන්නය. එහෙත් එය කතාවෙන් සහ සිහින දැකීමෙන් සපුරාගත හැකි ඉලක්කයක් නොවේ. නිරවුල් ප්‍රතිපත්ති මත සැලසුම් විධිමත්ව ක්‍රියාත්මක කිරීමෙන් අත්කර ගත යුත්තකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරික ධම්මික පෙරේරා

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්

 919 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply