අපස්මාරය හැදුන දැරියව විනාඩි 5 න් VIP ක්‍රමයට රෝහලට රැගෙන ගිය ට්‍රැෆික් රාළහාමිලාගේ වික්‍රමය!

“අනේ බුදු මහත්තයෝ කිරි දරුවෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්නේ එයාට ගොඩක් අමාරුයි. මේ වාහන ඉස්සර කරන්න දෙන්නේ නෑ නේ.’’ ඒ හඬට සංවේදී වූ පොලිස් නිලධාරීන් දෙපළක් විසින් කළ උතුම් පින්කමක තොරතුරු පොලොන්නරුවෙන් වාර්තා වේ.

අ සාධ්‍ය තත්ත්වයේ පසු වූ ළදරුවකු ත්‍රිරෝද රථයකින් පොලොන්නරුව මහ රෝහලට ගෙන යමින් සිටි මවකගේ කෑ ගැසීම් හඬ සහ ත්‍රිරෝද රථ රියැදුරුගේ හඬ අසා සංවේදී වූ පොලොන්නරුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු එම දරුවා ඉතා කෙටි කාලයකින් රෝහල් ගත කිරීමට අවශ්‍ය සහාය ලබා දුන් නිසා දරුවාගේ දිවි බේරා ගැනීමට හැකි වී තිබේ. කවදාවත් කිසි කෙනකුගෙන් හොඳක් ඇසන්නේ නැති පොලිසියේද මෙවන් උණුවන හදවත් ඇති ඇත්තෝ සිටින බවට මෙය කදිම උදාහණයකි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ පෙරේදා (05 වැනිදා) සවස 3ට පමණය. මෙම නිලධාරීන් දෙදෙනා මින්නේරිය රත්මමලේ අංක 59 නිවසේ පදිංචිව සිටින පොලිස් කොස්තාපල් (72027) ඩබ්. එච්. එම්. සී. එම්. විජේකෝන් සහ පොලොන්නරුව බී. ඕ. පී. 316 ලංකාපුර පදිංචිව සිටින පොලිස් කොස්තාපල් (86734) ඩබ්. ජී. ජේ. අතුල කුමාර යන අයයි.

ඔවුන් රාජකාරි සඳහා සිය රාජකාරි යතුරුපැදියෙන් බැඳිවැව ප්‍රදේශයේ මුර සංචාරයක යෙදී සිටියහ. ත්‍රිරෝද රථයක් ද්විත්ව සංඥා විදුලි දල්වාගෙන නළා ශබ්දය නඟමින් පොලොන්නරුව දෙසට යන්නට උත්සාහ කරන බව නිලධාරීන් දෙදෙනා නිරීක්ෂණය කොට ඇත. එම ත්‍රිරෝද රථයේ කිරි දරුවකු නළවමින් විලාප නඟන මවක් ද සිටිනු පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ. වහාම ක්‍රියාත්මක වූ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගයේ පැවැති අධික රථ වාහන තදබදය මඟහරවාලමින් තම යතුරුපැදියට සමීප කර තිබේ.

අපි බැඳිවැව රාජකාරියට යොදවලා තිබුණේ. ඉතින් බැඳිවැව පෙට්‍රල් සෙඩ් එක අසල පොත අත්සන් කරලා අනිත් පැත්ත බලනකොට ත්‍රීවිල් එකක් ඩබල් සිග්නල් දාගෙන හෝන් ගහනවා මහ සද්දෙන් ඔවර්ටේක් කරන්න. ඒත් ඉස්සරහා වාහන ඉඩ දෙන්නේ නෑ. ඒත් එක්කම අපි දැක්කා වීල් එක ඇතුළේ ගෑනු කෙනෙක් කිරිදරුවෙක් ඉහළට ඔසවාගෙන හොල්ල හොල්ල විලාප තියනවා. අපිට බලා ඉන්න වෙලාවක් තිබුණේ නෑ. මම ඉස්සර වුණා. ගිහින් වීල් එක කිට්ටුවෙන්ම යන ගමන් වීල් එකේ ඩ්‍රැයිවර්ගෙන් ඇහුවා මොකෝ කියලා. ඒ පාර තමයි මහ හයියෙන් කෑ ගහලා කිව්වේ ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න ඕන කියලා.

අපි පාර ක්ලියර් කරගෙන වීල් එක ඉස්සරහින් සිග්නල් දීගෙන ඉස්පිරිතාලේ ගාවටම එනකල්ම ආවා. පස්සේ පොලොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ කට්ටිය ඉක්මනින් අර දරුවා අරන් දිව්වා දැක්කා. අපට දැනුණා ඉතාම හදිසි තත්ත්වයක් කියලා. දරුවා රෝහලට භාර දුන්නා. පහුවදා උදේ අපිට ආරංචි වුණා පොඩි දරුවාව ඉක්මනින් ගෙනිච්චේ නැත්තම් ඒ කිරි කැටියාගේ ජීවිතේ බේරගන්න බැරි වෙන්න තිබුණා කියලා. ඇත්තටම අපිට දරුවාව ගන්නවත් ඉස්පාසුවක් තිබුණෙ නෑ.” යැයි පොලිස් කොස්තාපල් සී. එම්. විජේකෝන් කීවේය.

මීට වසරකට පමණ ඉහත දී විවාහ දිවියට ඇතුළු වූ විජේකෝන් දැන් දරු සුරතල් බැලීමට හීන දකින පියකි. ඔහු සමග යතුරුපැදියේ පසුපස ගමන් කළේ පොලිස් කොස්තාපල් අතුල කුමාරය. ඔහු දෙදරු පියකි. අතුල හඬ අවදිකරමින් මෙසේ කියා සිටියේය.

විජේකෝන් මහත්තයා තමයි රයිඩ් කළේ මම අත දාලා පාර ක්ලියර් කරමින් වීල් එකට අපිත් එක්ක වේගයෙන් එන්න ඉඩ හදලා දුන්නා. පුංචිම පුංචි දරුවෙක් අර අම්මාගේ අතේ හිටියේ. අපිත් දරුවෝ ඉන්න තාත්තලානේ ඒ අම්මාගේ විලාපය ඇහුණාම අපට ඉහිලුම් නැතුව ගියා. වීල් එකට ඉස්සරහින් ගිය වාහන ඉඩ දුන්නේම නෑ මෙයාලට ඉස්සර කරන්න. ඒ නිසා තමයි අපි දෙන්නා ක්ෂණිකව පාර ක්ලිය කරලා දෙන්න තීරණය කළේ.”

අසාධ්‍යව රෝහල් ගත කෙරුණු අවුරුදු එකකුත් මාසයක් වයසැති බිලිඳා දැන් නිරෝගී සුවය ලබමින් පොලොන්නරුව මහ රෝහලේ 18 වාට්‍ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි. පොළොන්නරුව ජයන්තිපුර යාය 5 අංක 354/2 නිවසේ පදිංචිව සිටි ශ්‍රියාණි ධම්මිකා (27) නම් මවගේ සිය දරුවා බේරා ගැනීමට හැකියාව ලැබුණේ පොලොන්නරුව පොලිසියේ උතුම් මනු ගුණ ඇති නිලධාරීන් නිසාය.“අනේ පොලිසියේ මහත්වරු දෙන්නාට පින් මගේ දරුවා බේරලා දුන්නාට. මගේ දෙවෙනි දරුවා මේ. දරුවට ගෙදර දී ‍ෆිට් එක හැදුණා ඇස් උඩ ගිහිල්ලා අත් පා දරදඬු වෙලා ගියා මට බය හිතුණා. ඊට පස්සේ අපේ චූටි මාමට කතා කරලා වීල් එක ගෙන්නාගෙන ඉස්පිරිතාලෙට අරන් එන්න ආවේ. එත් වාහන ගොඩක් තිබුණ නිසා අපට ඉක්මනට එන්න බැරිවෙයි කියලා මම විලාප දුන්නා මගේ දරුවා බේරා ගන්න ඉක්මනට යං කිය කිය. ඒක ඇහිලා තමයි පොලිසියේ මහත්වරු දෙන්නා ආවේ අපේ කිට්ටුවටම. ඒ මහත්තරුන්ට බුදු බව ලැබෙන්න ඕන මගේ දරුවා බේරලා දුන්නට’’ යැයි මෙම සිද්දියට මුහුණ දුන් කුඩා දැරිය වන උමන්දි අරුත්මාගේ මව අරුණ සමග කීවේය.

මිනිත්තු 05ක් වැනි ඉතා කෙටි කලක් ඇතුළත දරුවා රෝහල් ගත කිරීමට නොහැකි වූයේ නම් මේ සිඟිති දියණියගේ ජීවිත අවදානම ගැන සිතා ගැනීමටවත් නොහැකිය. එහෙත් මිහිපිට දෙවියන් මෙන් අවශ්‍යම මොහොතේ එතැනට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා නිසා දැරියගේ දිවි ‍රැකුණේය. කඩිනමින් දැරිය රෝහලට ගෙනා නිසා ඇයව බේරා ගැනීමට හැකි වූ බව පොලොන්නරුව මහ රෝහල් වෛද්‍යවරු පවසති.

 533 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply