මෙරට වැඩිහිටි ජනයාගෙන් 50%ක් ජීවිත අවදානමේ!

කොවිඩ් වයිරසයේ වැඩිම බලපෑමකට ලක් වන වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් සියයට 50ක් බූස්ටර් එන්නත නොගැනීම නිසා මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 50ක් ජීවිත අවදානමකට ලක්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේය.

මෙරට ජනගහනයෙන් මිලියන 2.7ක් වැඩිහිටි ජනගනහනය බවත් ඉන් මිලියන 1.3ක් පමණක් බූස්ටර් එන්නත ගෙන ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (29) පැවසුවේය.

ජනගහනය එන්නත්කරණයෙන් සන්නද්ධ වූ විට කුමන කොවිඩ් වයිරස් ප්‍රභේද පැමිණියත් ඒවාට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය ජනතාව තුළ ගොඩනැගෙන බවත් මේ වන විට මිලියන 5.5ක ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මධ්‍යම ඖෂධ ගබඩාව සතුව පවතින බවත් හෙතෙම පැවසීය.

දෛනිකව සිදු වන මරණවලින් සියයට 80ක් වැඩිහිටි ජනගහනය යැයි ද, එම මරණ සංඛ්‍යාව තවදුරටත් අවම කර ගැනීමට වැඩිහිටි ජනතාව එන්නත්කරණය වෙත යොමු විය යුතු යැයි ද ඔහු කියා සිටියේය.

එන්නත්කරණයට විරුද්ධව මිථ්‍යා මත පතුරන විවිධ සංවිධානාත්මක කල්ලි ලොව පුරා සිටින බවත් එවැනි මිථ්‍යාවන්ට නොරැවටී සිටීමට ජනතාව වග බලා ගත යුතු බවත් ඔහු පැවසුවේය.

මේ වන විට රට පුරා වැඩි වශයෙන් ව්‍යාප්තව පවතිනුයේ ඩෙල්ටා වයිරසය යැයි ද, බොහෝ කාලයක් සිදු කළ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දිනකට වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600ක් දක්වා අවම කර ගෙන ඇතැයි ද ඒ මහතා පැවසුවේය.

කොවිඩ් නොතකා මේ දිනයන්හි පුද්ගලයන්ගේ සංචරණයන් ඉහළ ගොස් ඇති බවත් මෙරට සමස්ත ජනගහයෙන් සියයට 85ක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත් වෛද්‍ය සමිත මහතා ප්‍රකාශ කළේය.

 383 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply