“රටේ ස්වාධීනත්වය බිලි දී මූල්‍ය අරමුදලින් ණය ගන්නේ නෑ”

  • විදෙස් ණය ගෙවීමේ හැකියාව අපට තිබෙනවා
  • චීන මහ බැංකුවෙන් කෝටි 150ක් මේ සතියේ
  • 31 දා වන විට ඩොලර් බිලියන 3ක් දක්වා විදේශ සංචිත තර වෙනවා

රටේ ස්වාධීනත්වයට හානි වන අයුරින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

මහබැංකු ශ්‍රවණාගාරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී කබ්රාල් මහතා මේ බව පැවසීය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ආධාර නොමැතිව විදෙස් ණය ගෙවීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතින බවද හෙතෙම කීවේය. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය රටට දරා ගැනීමට හැකියාව තිබෙන බව අවධාරණය කළ ඒ මහතා, කලින් පැවැති ආණ්ඩුව ගෙන ඇති ණය වාරික ගෙවීමට සිදුවීම මේ තාවකාලික ආර්ථික අර්බුදයට හේතුව බවද කීවේය.

එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම ඇනහිටීම ද ආර්ථික අර්බුදයට බලපෑ බව කී අධිපතිවරයා, එම නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ඩොලර් බිලියන 4.5 ක ආදායම අහිමි වූ බවද පෙන්වා දුන්නේය. මේ සතිය තුළ චීන මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවට කෝටි 150ක හුවමාරු ණය පහසුකම් (අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5) දීමට තීරණය කර තිබේ. මෙය මෙරටට ලැබීමත් සමඟ මෙරට විදේශ නිල සංචිතය කෝටි 310ක් (පද ඩොලර් බිලියන 3.1) දක්වා ඉහළ යනු ඇත. චීනයෙන් ලැබෙන හුවමාරු ණය පහසුකම යටතේ (swap) එම මුදල මෙරටට ලැබීමට නියමිතය. අදාළ ණය මුදල චින මුදල් ඒකකය වන යුවාන් මුදල් ඒකකයෙන් ලැබෙන අතර මෙරට විදෙස් සංචිත තව දුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම හුවමාරු ගනු දෙනුව සිදු කෙරේ.

දැනට ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 1.6ක විදේශ සංචිතයක් පවතින බවත් 2021 දෙසැම්බර් 31 වැනිදා වන විට එය ඩොලර් බිලියන 3කට වර්ධනය වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

රටේ යුද්ධයක් පැවැති අවස්ථාවේදී ඩොලර් මිලියන 800 ක විදෙස් සංචිතයක් පමණක් පැවැති නමුත් රටට අහිතකර ප්‍රතිඵලයක් උදා වී නැතැයි ද ඒ මහතා කීවේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය සහන පැකේජ ගත් කුඩා රටවල් අස්ථාවරත්වයට පත් වී තිබෙන බවත් ආර්ජන්ටිනාව මාස 6ක් වැනි සුළු කාලයක් තුළ ජනාධිපතිවරු 5 දෙනෙක් පත්වීම එයට හොඳම උදාහරණය බවත් ඔහු පෙන්වා දුන්නේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර පැමිණෙන්නේ කොන්දේසි මත බවත් රුපියල පාවෙන තත්ත්වයට පත් කිරීමට ඔවුන් නියම කරන බවත් එවිට ඩොලරය රුපියල් 240ක මට්ටමට නඟිනු ඇති බවත් ඔහු කීවේය. මීට කලින් වතාවක එනම් 2014 දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි කටයුතු කළ අවස්ථාවේ දී රුපියලට සාපේක්ෂව ඩොලරය 132 සිට 185 දක්වා ඉහළ ගිය බවද කීවේය. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් සියලුම ආනයන සියයට 20කින් පමණ ඉහළ යා හැකි අතර එය දරා ගත නොහැකි වේ. මූල්‍ය අරමුදලේ අනිත් කොන්දේසිය වන පොළී අනුපාත ඉහළ දැමීම ද ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව ඔහු කීවේය. තවද රජයේ අංශ වෙත මුදල් ගෙවීම නතර කිරීමට ද එම අරමුදල නියම කරන බවත් එයින් රාජ්‍ය සේවය කඩාවැටෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජය සතුව පවතින වටිනා සම්පත් විකිණීමට එම සංවිධානය නියම කරන බවත් රජයේ බැංකු පෞද්ගලීකරණය කිරීමටත් ඔවුන් නියම කරන බවත් එය ප්‍රශ්න රාශියක් ඇති වන කාරණයක් බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගැනීමේ දී ඉහත කොන්දේසිවලට එකඟ වීමට සිදු වන බවත් එය සාර්ථක විකල්පයක් නොවන බවත් ඔහු කීවේය. විපක්ෂය මේ කාරණා හොඳින් දන්නා බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යන ලෙස පවසන්නේ ඒ නිසා බවත් කබ්රාල් මහතා පැහැදිලි කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාරදෙන විට රටේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 79ක පැවැති බව කියූ අධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඉදිරි පස් වසර ඇතුළත එය වැඩි වූයේ ඩොලර් බිලියන 5කින් පමණක් බවත් ස්වෛරී බැඳුම්කර වර්ධනය වූයේ ඩොලර් බිලියන 5 සිට බිලියන 15ක් දක්වා පමණක් බවත්ය. ශ්‍රී ලංකාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවිය හැකි බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ගැනීම අවශ්‍ය නොවන බවත් පැවසීය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන තත්ත්වය අප රටට පමණක් ආවේණික තත්ත්වයක් නොවන බවත් මේ කාලයේ තවත් රටවල් රැසක් එම ගැටලුවට මුහුණ දෙන බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ අවස්ථාවේදී කීවේය. ඉදිරි කාලයේදී මේ තත්ත්වය සමනය වනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් කීවේය.

ගාමිණි ජයලත්

 734 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply