හතර දෙනෙක් එළිපිට මැරූ පොලිස් චණ්ඩියා කියපු කතාව!

අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ නිලධාරීන් හතරදෙනකු වෙඩි තබා මරා සිය නිවෙසට ගිය පොලිස් සැරයන්වරයා මවට වැඳ ටී පනස් හයේ ගිනි අවි දෙකක්ද පතරොම් ගැබ් 19ක්ද සමඟ ඇතිමලේ පොලිසියට භාර වී ඇත.

පසුව ඇතිමලේ පොලිසිය විසින් සැකකාර සැරයන්වරයා අම්පාර මූලස්ථාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ලබාගෙන අක්කරපත්තුව මහෙස්ත්‍රාත් මොහොමඩ් හම්ෂා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සැලවීමත් සමඟ අම්පාර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා සිද්ධිය නිරීක්ෂණය කර ඇති අතර සැකකාර සැරයන්වරයාගෙන් වෙඩි තැබීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ “මම කරපු දේවල් තියෙනවා සර්. ගිහින් බලා ගන්න පුළුවන්” යන්නය. සැකකාර සැරයන්වරයා ඔහු සිදුකළ වෙඩි තැබීම නිවැරැදි බවට හැඟෙන පරිදි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉදිරියේ හැසිරී තිබේ.

නිවාඩු ලබානොදීම නිසා සැකකාර සැරයන්වරයා මෙම වෙඩි තැබීම කර ඇති බවට අනාවරණය වුවත් අම්පාර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසුවේ මොහු නිවාඩු ලබාගෙන ගොස් ඉකුත් නොවැම්බර් මස 18 වැනිදා නැවත රාජකාරියට වාර්තා කළ අයකු බවත්ය. ඉන් අනතුරුව කිසිදු නිවාඩුවක් මොහු විසින් ඉල්ලා නොතිබුණු බවත් ඒ සඳහා ‘ලීව් පේපර්’ එකක් හෝ දමා නැති බවත් කී ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිවාඩු ඉල්ලීමක් සම්බන්ධයෙන් මොහු පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර නොතිබූ බවයි. එසේම ස්ථානාධිපතිවරයා සමඟ කිසිදු අමනාපයක් නොතිබූ බවද සැකකරු පවසා ඇත.

මේ අතර සැරයන්වරයාගේ සේවය තහනම් කිරීමට කටයුතු කළ බවත් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා සඳහන් කළේය.

ඉකුත් 24 වැනිදා රාත්‍රි 10ත්, 10.30ත් අතර මෙම වෙඩිතැබීම සිදුවී තිබිණි.

තිරුක්කෝවිල් පොලිසියට අනුයුක්ත සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර නමැති මොහු පොලිස් ස්ථානයට පැමිණි ප්‍රධාන ‍ෙදාරටුවේ රාජකාරි කළ නිලධාරියාගේ ටී – පනස් හය ගිනි අවිය උදුරාගෙන ඇත. පසුව එම ගිනි අවිය උපයෝගි කරගෙන පොලිස් ස්ථානය දෙසට වෙඩි තබා ඇති මොහු ඉන් අනතුරුව චෝදනාගාරය භාරව සිටි පොලිස් නිලධාරියාට වෙඩි තබා තිබේ. පසුව චෝදනාගාරයේ තිබූ තවත් ටී පනස් හය ගිනි අවියක් හා පතොරම් ගැබ් 19ක් පැහැරගෙන තිබේ.

ඒ සමඟම රාජකාරි කටයුත්තක් සඳහා බැහැරව ගොස් සිටි තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපති අරුණ ජගත් දෙහිගම ඇතුළු නිලධාරීන් ඒ අවස්ථාවේ පොලිසිය වෙත පැමිණෙමින් සිට ඇත. එය දුටු සැරයන්වරයා අත තිබූ ටී පනස් හය ගිනි අවියෙන් පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණි ජීප් රියටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් ස්ථානාධිපතිවරයා හා පොලිස් ජීප් රිය පැදවූ පොලිස් රියැදුරාටද වෙඩි වැදී ඇති අතර රියැදුරාට ජීප් රිය පාලනය කර ගත නොහැකිව රථය ඒ අසල ගොඩනැඟිල්ලක ගැටී නතර වී තිබිණි. ඒ වන විටත් පොලිස් රියැදුරාට වෙඩි වැදී තිබූ අතර ඔහු ජීප් රිය තුළම ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි ප්‍රහාරයෙන් තවත් නිලධාරීන් දෙදෙනකු පොලිසිය තුළම මරණයට පත්විණි.

පසුව වෙඩි ප්‍රහාරය කළ සැරයන් ඔහුට අයත් කැබ්රියෙන් පලාගොස් ඇත්තේ ඒ ටී පනස් හය ගිනි අවි දෙක සහ පතරොම් ගැබ් 19ක්ද අතැතිවය.

ඉන් අනතුරුව තුවාල ලබා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රෝහල්වලට ඇතුළත් කර තිබූ අතර රෝහලේදී තවත් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්විය. ඒ අනුව මියගිය නිලධාරීන් ගණන 4කි.

මිය ගිය වූවන් අතර තිස්පස් හැවිරිදි පිටකුඹුර, සේරව බිබිල කොස්තාපල් (78857) තුලා බණ්ඩාරලාගේ කසුන් ප්‍රබුද්ධ ගුණසේකර, කල්මුණේ පාණ්ඩිරිප්පු පිල්ලේයාර් කෝවිල් පාර කොස්තාපල් (8861) අලගරත්නම් නවීනන් (30), ඔළුවිල් සේනාවඩි සැරයන් (44132) කලන්දර් ලෙබ්බේ මොහොමඩ් අබ්දුල් කාදර් හා සියඹලාණ්ඩුව ගඟපාර හතර කණුව (1738) කොස්තාපල් දිසානායක මුදියන්සේලාගේ තුෂාර හේමන්ත පුෂ්පකුමාර (32) යන නිලධාරීහු වෙති.

පසුව කළ විමර්ශනයේදී අනාවරණය වූයේ සැකකාර සැරයන්වරයා සිය කැබ් රථයෙන් ඇතිමලේ ඔහු පදිංචි නිවෙසට ගොස් ඔහුගේ මවට වැ¼ද සිද්ධිය පවසා අනතුරුව මවගේ උපදෙස් මත ඇතිමලේ පොලිසියට භාර වී ඇති බවය. ඒ තිරුක්කෝවිල් පොලිසියෙන් පැහැරගත් ටී පනස් හය ගිනි අවි දෙකද පතරොම් ගැබ් 19ද සමඟය.

වෙඩි තැබීම කළ පොලිස් සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර (37) හැවිරිදි අවිවාහකයෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පොලිස් රාජකාරිවලට එක්වූ මෙම පොලිස් සැරයන්වරයාගේ පාදයක මීට වසර කිහිපයකට පෙර ශල්‍යකර්මයක් කර තිබූ හෙයින් ඔහු රාජකාරි සිදුකර තිබුණේ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිල ඇඳුම්වලින් තොරවය.

රාජකාරි නිවාඩු ලබානොදීම නිසා කෝපයට පත් සැරයන්වරයා ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට වෙඩි තැබීම කර ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ තිරුක්කෝවිල් පොලිසියේ රාජකාරි කළ එක් සැරයන්වරයකු මොහුට වෙඩි තබා තිබුණද ඔහුට වෙඩි වැදී නැත. සිද්ධියෙන් පසුව පලා යෑම සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් මාර්ග බාධක මුර කපොලුවලට දැනුම් දීමක් කළද මොහු එම කපොලු අතරින්ද පලාගොස් තිබිණි.

පාදයක් අහිමි වූ ඔහු සිය කැබ්රිය පැයට කිලෝමීටර 100ක පමණ වේගයෙන් ධාවනය කර ඇති බවත් තිරුක්කෝවිල් පොලිසියේ සිට පැය භාගයක කාලයක් තුළ ඔහු ඇතිමලේ නිවෙසට ගොස් ඇති බවත් මේ සම්බන්ධ කළ විමසීමකදී අම්පාර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගමරාලලාගේ අරුණ ජගත් බණ්ඩාර දෙහිගම කල්මුණේ රෝහලෙත්, සැරයන් වෛරමුත්තු කන්දසාමි (44386) තිරුක්කෝවිල් රෝහලෙත්, සැරයන් කෝනාර මුදියන්සේලාගේ ප්‍රියන්ත ගුණවර්ධන (14787) අක්කරපත්තුව රෝහලෙත් පොලිස් කොස්තාපල් රියැදුරු රාජපක්ෂ පතිරණගේ සත්‍යරාජ් කුමාර (89730) අක්කරප්තතු රෝහලෙත් මේ වන විට ප්‍රතිකාර ලබති.

නැඟෙනහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා, නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න හා අම්පාර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත්කර තිබේ. මෙම වෙඩි තැබීමට හේතුව සොයා ගැනීම සඳහා මෙම නිලධාරීහු මේ වන විටත් විමර්ශනයක් අරඹා තිබේ.

www.mawbima.lk

 1,283 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply