“STC කෝටි 8ක් ලාභ ලබයි” – සේවකයන්ට බන්දුලගෙන් බෝනස්!

දීර්ඝ කාලීනව පාඩු පිට පාඩු ලබමින් පවත්වාගෙන ගිය රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මෙම වසරේදී ලාභ ලබන තත්ත්වයට පත් වීමෙන් පසු ලාභ ලැබීමේ කර්තව්‍යය සඳහා කැප වූ සේවකයන්ට ප්‍රසාද දීමනාව ලබා දීම පෙරේදා (22දා) සිදු කෙරිණි.

එම අවස්ථාවට එක්වෙමින් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙසේ පැවැසීය.

“අප රටේ හිටපු වෙළෙඳ ඇමැතිවරයකු වූ දිවංගත ටී.බී. ඉලංගරත්නයන් විසින් ආරම්භ කරන ලද රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විවිධ වැටීම්, නැඟිටීම් සහිතව මෙතෙක් පවත්වාගෙන එමින් තිබෙනවා. මා විසින් මෙම වෙළෙඳ ඇමැති ධුරයේ රාජකාරි භාරගත් පසුව සිදු කළ  අධ්‍යයනයකින් පසුව පසුගිය යහපාලන රජයේ වෙළෙඳ ඇමැතිවරයා විසින් දැන හෝ නොදැන සිදු කළ ක්‍රියාවන් තුළින් මෙම ආයතනය ගෙවුම් ශේෂයක් ඇතුළත්ව රු. මිලියන 28ක පමණ අලාභයක් වාර්තා කර තිබෙන බව පෙනී ගියා. මේ අවස්ථාවේදී අපි වෙළෙඳ අමාත්‍යාංශයත් දේශීය නිෂ්පාදකයන් හා රජයේ ආයතන සම්බන්ධ කරගනිමින් රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා භාණ්ඩ නිකුත් කිරීම ආරම්භ කළා.”

“පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද නවෝත්පාදනයක් වන RESPIRONE NANO AV99  මුහුණු ආවරණය වාණිජ භාණ්ඩයක් බවට පත් කරමින් එයද රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා අලෙවි කිරීමට කටයුතු සලසා දීමෙන් පසුව මේ වන විට මුහුණු ආවරණ ලක්ෂ 8ක් අලෙවි කිරීමෙන් රු. මිලියන 13.2ක ලාභයක් ලබා ගැනීමට මෙම ආයතනය සමත් වී තිබෙනවා. එවැනි ක්‍රමවේද හා නව දේශීය නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කරමින් මෙම වසර තුළ රු. මිලියන 50ක ලාභයක්  ලබා තිබෙනවා’’

“වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් ඉල්ලීම් සිදු කරමින් ඍජු මැදිහත් වීම තුළ ලබාගනු ලැබූ මෙම ලාභයත්, Q-SHOP  අලෙවිසල් ආරම්භයෙන් ඍජුවම රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ භාණ්ඩ අලෙවි කිරීමට කටයුතු සැලසීමත් හරහා මෙම ආයතනය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබුණා. මෙය අපි ලබා ගත් ජයග්‍රහණයක්. ඊට දායක වූ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම අගය කළ යුතුයි”

“එමෙන්ම ඔබ සියලු දෙනාගේම ශක්තිය ඉදිරියේදීත් ආයතනයේ දියුණුව වෙනුවෙන් භාවිත කරමින් ඉදිරි වර්ෂයේදී මීටත් වඩා වැඩි ලාභයක් ලබා ගැනීමට හැකි වුවහොත්, සම්පූර්ණ මාසික වැටුපට සමාන මුදලක් 2023 වර්ෂය සඳහා ඔබගේ ප්‍රසාද දීමනාව වශයෙන් ලබා දීමට  හැකියාව ලැබෙන බවත් ප්‍රකාශ කිරීමට කැමැතියි.” 

මෙහිදී ඇමැතිවරයා අතින් ප්‍රසාද දීමනා පිරිනැමීම සිදුකෙරිණි. 

 488 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply