කුසගින්නේ සිටි මිනිපිරියන් දෙන්නාගේ කුසගින්න නිවන්න පොලිසියේ පිහිටපැතු අත්තම්මා!

දින එක හමාරක් නිරාහාරව සිටි අවුරුදු 7 හා 11ක් වයසැති තම මිනිබිරියන් දෙදෙනා තවදුරටත් නඩත්තු කළ නොහැකි බැවින් ඔවුන් ළමා නිවාසයකට භාර දෙන්නැයි ඉල්ලා හැත්තෑ හැවිරිදි කාන්තාවක් ඊයේ (22) දහවල් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ පොලිසියේ පිහිටපතා තිබෙනවා.

අවසන් වරට ඉකුත් විසිවැනි දා රාත්‍රී ඔවුන් බත් සහ පරිප්පු ස්වල්පයක් ආහාරයට ගෙන තිබූ අතර ඉන් අනතුරුව පිසීමට දෙයක් නොමැති වූ නිසා නිරාහාරව සිටි බව කියති. මිනිබිරියන් දෙදෙනා බඩගිනි වැඩි කමට අඬන්ට වූ නිසා පෙරේදා දහවල් අසල කඩයකට ගොස් ණයට රුපියල් 80ක බටර් විස්කෝතු රැගෙන ආ බවද දවස ගත කළේ ඒවා කෑමෙන් බව ද කාන්තාව පොලිසියට ප්‍රකාශ කළා.

උදෑසන ද බඩගින්නේ සිටි බව පැවසූ නිසා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය තමාගේ කෑමට පිළියෙල කරගෙන විත් තිබූ බත් පාර්සලය එම දැරියන්ට හා මිත්තණියට ඊයේ උදෑසන පිරිනැමූ බවත් එය ඉතා සංවේදී අවස්ථාවක් වූ බවත් එම සිද්ධිය දුටුවෙක් පැවසුවා.

මෙම දැරියන්ට මව හා පියාගේ සෙනෙහස නියමාකාරයෙන් නොලැබුණු බවත් එම මව හා පියා වරින්වර කීයක් හෝ එවන මුදලින් යන්තම් දිවි ගැටගසා ගත් බවත් මිත්තණිය පොලිසියට පවසා ඇත. තමාට අත්ව ඇති ඉරණම ගැන අනුකම්පා කළ වැලිගම මිදිගම ප්‍රදේශයේ වෙළෙඳසලක හිමිකරුවකු රුපියල් 500ක් අතට දී තම දුක්ගැනවිල්ල මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත මහත්මිය හමුවී දැනුම් දෙන්නැයි කී නිසා පොලිසියට පැමිණි බවද ඇය කියා තිබේ.

දැරියන්ගේ මව හා පියාද පොලිසියට කැඳවා ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පැමිණිල්ල විභාග කරන ලෙසත් දැරියන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පොලිසියට උපදෙස් ලබාදී තිබේ. අදාළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක් කැඳවීමට ද තීරණය වී ඇත. මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.

 728 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply