”ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජවිපෙ සමග එක්වීමට සූදානම්”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව සන්ධානගතවීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ වැනි පිරිසිදු පක්ෂයක් සමග එකතු වී අනාගතය ගොඩනගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉඩකඩ ඇති බව ය.

ඉතිහාසයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග එකඟතාවකට පැමිණ ආණ්ඩු නිර්මාණය කළ බව ඔහු සිහිපත් කළේ ය.

ඔහු සඳහන් කළේ, “මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දූෂණයෙන්, වංචාවෙන් සහ මිනීමරුවන්ගෙන් තොර පිරිසිදු පක්ෂයක්” බවට පත්වී ඇති බව ය.

එවැනි අවස්ථාවක පුළුල් සන්ධානයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ගොඩනැගිය යුතු යැයි යන මතය සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේ ත් සාකච්ඡා කර ඇතැයි ඔහු පැවසී ය. 

මෙතෙක් මේ සම්බන්ධයෙන් ජනතා විමක්ති පෙරමුණ සමග සාකච්ඡා කර නොමැති නමුත් “එවැනි වැඩපිළිවෙළකින් ඉදිරියට යාමේ හැකියාවක් පවතිනවා යැයි තමා විශ්වාස කරන බව” ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“ජනතා විමුක්ති පෙරමුණ එක්ක 2001 චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියගේ කාලේ ත් 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් සමග යම් එකඟතාවකට ඇවිල්ලා ආණ්ඩු හැදුවා. ඒ තුළ යම් යම් ක්‍රියාදාමයන් ඉෂ්ට කළා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ ත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වීම අලුත් යමක් කියලා මම හිතන්නේ නෑ. අපි අතර එකමුතුවක් ඇති කරන්න එකඟතාවක් ඇති වෙන්න සන්ධානයක් ගොඩනැගෙන්න සියලු ශක්තීන් අපි දෙගොල්ලෝ අතර ම තියෙනවා. 

අද තියෙන තත්ත්වය ඉතා ම ත් පැහැදිලියි. අද අපේ පක්ෂය ඇතුළේ දූෂණය නෑ. මිනීමරුවන් මංකොල්ලකරුවන් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු පක්ෂයක් බවට දැන් පත්වෙලා තියෙනවා. ඉතින් ඒ ඉතිහාසයට වඩා වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසිදු පක්ෂයක් එක්ක එකතු වෙලා අනාගතය ගැන ගොඩනගන්න තිබෙන ඉඩකඩ තිබෙනවා. ඒක ගැන හොඳ විභවතාවක් අපි දෙගොල්ලොන්ට ම තියෙනවා කියලයි මම හිතන්නේ. 

එහෙම තාම සාකච්ඡාවක් කරලා නෑ. නමුත් මම කියන්නේ වමේ වාමාංශික බලවේග සියලු දෙනා ම එකතු කරගත යුතුයි කියන තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. පුලුල් සන්ධානයක් එක්සත් ජනතා නිදහස් පක්ෂය තුළ ගොඩනැගිය යුතුයි කියන මතය ත් අපේ පක්ෂය විදියට මධ්‍යම කාරක සභාවේ ත් මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙළට අපිට ඉදිරියට යන්න හැකියාව තියෙනවා.”

 537 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply