ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කළ විගණනය කට අනුව පසුගිය ‘යහපාලන‘ සමයේ රුපියල් කෝටි 574කට ආසන්න ප්‍රමාණයක් එජාප පාක්ෂිකයන්ගේ ප්‍රයෝජනය සඳහා අවභාවිත කර ඇතැයි හෙලි වී තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතුව තිබූ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය අසල අක්කර 1.5ක ඉඩමක් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව රුපියල් ලක්ෂ 6500 කට විකුණා එම මුදල් හම්බන්තොට ප්‍රදේශයේ එජාප පාක්ෂිකයන් දහස් ගණනකට බෙදාදී ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා පවසයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් හතරදෙනෙක් බන්ධනාගාරගත කර ඇති බවත් ඒ මහතා පැවසීය. එම මුදල් එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන්ට රුපියල් 50,000 – රුපියල් 25,000 – රුපියල් 20,000 වශයෙන් නිවාස ණයක් ලෙස ලබාදී ඇති බවත් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිදුවූ ඒ ලබාදුන් මුදල් යළි අයකර ගැනීමට කිසිදු ක්‍රමයක් නැති බවත් සභාපතිවරයා පවසයි. එමෙන්ම අධිකාරියේ රු ලක්ෂ 870ක් යොදා ගනිමින් දේශපාලන පෝස්ටර් හා උදාගම් පිළිබඳ පෝස්ටර් මුද්‍ර ණය කර රට පුරා බෙදා හැර ඇතැයි ද ඊට අමතරව සිහිවටන ඵලකවලට ලක්ෂ ගණන් මුදල් නිරපරාදේ වැය කර ඇතැයිද සභාපතිවරයා පවසයි.